ටෙහෙරානයේ ජනතාවට විෂ වායු තර්ජනයක්
පසුගිය සෙනසුරාදා ඊශ්‍රායලය හා එක්සත් ජනපදය විසින් ටෙහෙරානය ආසන්නයේ තෙල් නිධි ඉලක්ක කරගෙන දියත් කළ දැවැන්ත ප්‍රහාරයෙන් නගරය පුරා ඝන දුමාරය පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අල්ජසීරා පුවත් සේවය සඳහන් කරන්නේ, වායු දූෂණයට අමතරව පස හා ජලය ද දූෂණය වී ඇති බවට විවිධ වාර්තා ලැබෙමින් පවතින බවයි.
ටෙහෙරානයේ මිලියන 14කට ආසන්න ජනතාවට මෙම දූෂණය හේතුවෙන් දිගුකාලීන සෞඛ්‍ය බලපෑම් ඇති විය හැකි බවට බියක් මතුව තිබේ. අගනුවරට දකුණින් පිහිටි කාර්මික සංකීර්ණයක් ඇතුළුව ඉස්ෆහාන් , කාෂාන් , අහ්වාස් හා සාකෙස් යන නගර කිහිපයකින්ද පිපිරීම් හා ප්‍රහාර වාර්තා වී ඇත.
යුද්ධය ආරම්භ වූ දින සිට ඊශ්‍රායලය හා එක්සත් ජනපදය විසින් ඉරානයේ නගර 200කට අධික ප්‍රමාණයක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති අතර, එම ප්‍රහාරවලින් පුද්ගලයන් 1,300කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවත්, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවත් වාර්තා වේ.
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය සිය 40වන ප්‍රතිප්‍රහාර රැල්ල දියත් කර ඇති බව ප්‍රකාශ කර ඇති අතර, තත්ත්වය සමනය වීමේ කිසිදු ලකුණක් පෙන්නුම් නොකරන බව සඳහන්. ඊයේ රාත්‍රියේ ඉරාන ආරක්ෂක නිලධාරියෙකු අල්ජසීරා සමඟ කතා කරමින් ප්‍රකාශ කළේ, කලාපීය යුද්ධය ඉක්මනින්ම නව අදියරකට එළඹෙනු ඇති බවයි.
ඔහු හොර්මුස් සමුද්‍ර සන්ධිය ගැන සඳහන් කරමින් කීවේ, තවත් ප්‍රධාන සමුද්‍ර සන්ධියකටද හොර්මුස් සමුද්‍ර සන්ධියට සිදු වූ දේම සිදුවිය හැකි බවයි.