ඩොලර් වෙනුවට රත්‍රං පෙන්නූ තිළිණිට එරෙහිව 12 වන පැමිණිල්ල ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගෙන්.

CID - Sri Lanka Police Thilini Priyamali
By Wayomi Nov 12, 2022 03:52 AM GMT
Wayomi

Wayomi

Report

තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් මේ වන විට 12 වන පැමිණිල්ලත් CID යට ලැබී තිබෙනවා.

ඒ, අමෙරිකානු ඩොලර් ලබාදෙන බව පවසාවැල්ලවත්තේ ප්‍රසිද්ධ ජංගම දුරකථන ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 4ක් ලබාගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙනි.

මෙම වංචාව ජානකී සිරිවර්ධන හා තිළිණි ප්‍රියමාලි එක්ව සිදු කළ එකකි.

පසුගිය මැයි මාසයේ දිනක කොළඹ කොටුවේ ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ කාර්යාලයට ජානකී සිරිවර්ධන විසින් වැල්ලවත්තේ ප්‍රසිද්ධ ජංගම දුරකථන ව්‍යාපාරිකයෙකුට ජංගම දුරකථනයක් රැගෙන එන ලෙස දැනුම් දී ඇති අතර තමන් එහි යන විටත් තිළිණි ප්‍රියමාලී සහ තවත් දෙදෙනෙකු එම ස්ථානයේ සිටි බවත් තිළිණි එම පුද්ගලයන් දෙදෙනාට එහිදී අමෙරිකානු ඩොලර් නෝට්ටු මිටියක් දෙන අයුරු දුටු බවත් ව්‍යාපාරිකයා පවසා තිබෙනවා.

එහිදී ජානකී මෙම ව්‍යාපාරිකයාට පවසා ඇත්තේ තිළිණි සහ තමන් සතුව ඇති තරම් ඩොලර් ඇති බැවින් අවශ්‍ය නම් ඕනෑ තරම් දිය හැකි බවයි.

රට තුළ පැවැති අරගල සමයේ මෙම සංවාදය සිදුවී ඇති අතර ඒ හේතුවෙන් ජානකී පවසා ඇත්තේ, ඉහළ දේශපාලනඥයින් සතු ඩොලර්, අරගලය හේතුවෙන් ඔවුන් සතුව තබාගැනීමට නොහැකිවීම නිසා එම මුදල් පිටතට ලබාදෙන බවයි.

මෙම ව්‍යාපාරිකයා ඉන්පසුව රුපියල් කෝටි 4 ක මුදලක් තිකෝ සමූහ ව්‍යාපාරයේ ගිණුමට බැරකර තිබුණා.

නමුත් මොවුන් දෙදනාගෙන් අමෙරිකානු ඩොලර් නොලැබුණු නිසා මෙම ව්‍යාපාරිකයා අවස්ථා කිහිපයදීම ක්‍රිෂ් ගොඩනැගිල්ලට ගොස් සිය මුදල් ඉල්ලා තිබෙනවා.

එලෙස ගිය එක් අවස්ථාවකදී බොරැල්ලේ සිරිසුමන හිමි ද ක්‍රිස් කාර්යාලයේ සිට ඇති අතර ජානකීට අලෙවි කිරීම සඳහා තමා එදින තවත් ජංගම දුරකථනයක් රැගෙන ගිය බවත් එම අයිෆෝන් තර්ටීන් ප්‍රෝ මැක්ස් ජංගම දුරකථනය එම භික්ෂුවට පූජාකරන ලෙස ජානකී පැවසූ බවත් ව්‍යාපාරිකයා සඳහන් කර තිබෙනවා.

ඒ වන විට එහි වටිනාකම රුපියල් පන් ලක්ෂ පනස්දහසක් පමණ වී ඇති අතර එම මුදල ජානකී සිරිවර්ධන එම ව්‍යාපාරිකයාට ලබාදී තිබෙනවා.

කෙසේවෙතත් ඩොලර් ලබාගැනීමට ලබාදුන් රුපියල් කෝටි 4 ක මුදල නොලැබීම හේතුවෙන් ඒ ගැන විමසන්නට ව්‍යාපාරිකයා තිළිණිට දුරකථන ඇමතුමක් ලබාගත් අවස්ථාවේදී තිළිණි ප්‍රියමාලි පවසා ඇත්තේ තමන් සතුව රත්‍රං ඇති අතර ඒවා ලබාදිය හැකි බවයි.

රත්‍රං කැබලි බව පවසමින් තිළිණි ප්‍රියමාලි රත්‍රං කැබලි සහිත ඡායාරූප කිහිපයක් ද ව්‍යාපාරිකයාට එවා තිබෙනවා.

ඉන් පසුව ජානකී සිරිවර්ධන විසින් ව්‍යාපාරිකයාව කඩවත පිහිටි පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි වැඩසිටි විහාරස්ථානයට රැගෙන ගොස් ඇත්තේ එහි ඇති රත්‍රං කුට්ටියක් පෙන්විමටයි.

මෙම රත්‍රං කුට්ටිය කිලෝ ග්‍රෑම් 5ක් පමණ බරින් යුත් බව එම භික්ෂුව පවසා ඇති අතර "මේ රත්‍රං කුට්ටිය තිළිණි අක්කා දෙන්න කිව්වා, අද දෙන්න බැහැ ජපකරලා නිසා. දවස් තුනකින් දෙන්නම්." යනුවෙන් එහිදී සිරිසුමන හිමි පවසා තිබෙනවා.

තමන්ට රත්‍රං අවශ්‍ය නොවන බවත් තමන්ට අවශ්‍ය තමා ලබාදුන් රුපියල් කෝටි 4ක මුදල පමණක් බවත් තමා එහිදී ව්‍යාපාරිකයා පවසා ඇති අතර තිළිණි සහ ජානකී ලබාගත් මුදල දෙන බව එම භික්ෂුව එහිදී පවසා ඇතත් උන්වහන්සේ පසුව තමාගේ දුරකථන ඇමතුම් අවහිර කර තිබෙනවා.

ඒ පිළිබඳ ව්‍යාපාරිකයා තිළිණිව දැනුවත් කිරීමෙන් පසු ඇය පවසා ඇත්තේ භික්ෂුවට අසනීප වී රෝහල්ගත කර ඇති බවයි.

කෙසේ වෙතත් අරගල සමය නිසා දිගින් දිගටම මුදල් ලබාදීම මඟහැරි තිළිණි ප්‍රියමාලි පසුව ඇයගේ තිකෝ සමූහ ව්‍යාපාරයේ බැංකු ගිණුමකින් අවස්ථා 5කදී රුපියල් මිලියන 10, 15 බැගින් ව්‍යාපාරිකයාගේ ගිණුමට චෙක්පත් බැරකර තිබුණා.

නමුත් ඒවා අගරු චෙක්පත් බවයි මෙම ව්‍යාපාරිකයාට ඔහුගේ ගිණුම් සතු බැංකුවෙන් පවසා ඇත්තේ.

මෙහිදී ව්‍යාපාරිකයාට මුදල් නොලැබීම නිසා පසුව ජානකී සිරිවර්ධන ඔහුට මුදල් ලබාදෙන බවට පොරොන්දු වී ඇති අතර මුදල් නොලැබීම නිසා ඔහු පසුගිය 4 වනදා ඒ පිළිබඳ CIDයට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව මෙම සිද්ධිය පිළිබඳ ද විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (10) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දදෙනු ලැබුවා.

එහිදී තිළිණිගේ ගිණුම් සහිත පෞද්ගලික බැංකු 4 ක ගිණුම් පරීක්ෂා කිරීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය විසින් අවසර ලැබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW