අද උදෑසන 9 සිට පැය 12කට වතුර අත්හිටුවයි - කොළඹ ඇතුළු ප්‍රදේශ 29කට වතුර නෑ - ජනතාව දැන්ම දැනුවත් වෙන්න
කොළඹ ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක් සඳහා අද (04) දිනයේදී පැය 12ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කර තිබේ . ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ අද පෙරවරු 9.00 සිට අද රාත්‍රී 9.00 දක්වා මෙම ජල කප්පාදුව සිදුවන බවයි.
ඒ අනුව කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලට මෙන්ම බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොළොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව, පිළියන්දල, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, රාවතාවත්ත සහ සොයිසාපුර යන ප්‍රදේශවලට අද උදෑසන 9.00 සිට පැය 12ක ජල කප්පාදුවක් සිදුවන බව වාර්තා වේ.
එමෙන්ම ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ විදුලිබල සැපයුම් පද්ධතියේ මුල්ලේරියාව උපපොළ ආශ්‍රිතව සිදු කරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත සැපයෙන විදුලි බලය අත්හිටුවන බැවින් සහ ඊට සමගාමීව දෙහිවල ජල පොම්පාගාරය හා මාළිගාවත්ත එළි හවුස් පොම්පාගාරය ආශ්‍රිතව සිදු කෙරෙන විදුලි බල පද්ධතියේ වැඩිදියුණු කිරීමේ කටයුතු නිසා මෙසේ ජල සැපයුම අත්හිටුවන බවයි.
කෙසේ වෙතත් මෙම ජල සැපයුම අත්හිටුවීම නිසා වන අපහසුතාවය පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කණගාටුව පළ කර ඇත.