වසරේ මේ දක්වා දරුවන් 115ක් රිය අනතුරුවලින් මිය ගිහින්.
රථ වාහන පොලීසිය පවසන්නේ මාර්ගවල සිදුවන අනතුරුවලින් වසරේ මේ දක්වා ගත වු කාලය තුළ ළමුන් 115 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි.
මේ වසරේ ජනවාරි පළමු වනදා සිට ඔක්තෝබර් 15 වනදා දක්වා කාලය තුළ මෙම මරණ වාර්තා වූ බව රථ වාහන කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා පවසනවා.
රියදුරන්ගේ අපරික්ෂාකාරී ධාවන කටයුතු මෙම මරණවලට හේතු වී ඇති බව කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා සඳහන් කරනවා.
"අපිට මාර්ග රිය අනතුරු 2,539ක් වාර්තා වෙනවා 2022 වර්ෂයේ දී. 2023 /10/15 දක්වා 1,790ක් වාර්තා වෙනවා මාර්ග රිය අනතුරු. ඉන් අවුරුදු 18 දක්වා පවතින වයස් සීමාවල ළමුන් 129ක් නැතිවෙනවා. අනිත් එක 2023 /10/15 දක්වා ළමුන් 115ක් නැති වෙනවා. ඉතින් මේක බොහෝම ලොකු අපරාධයක්. ඒ කියන්නේ මාර්ග රිය අනතුරුවලින් වැඩියෙන්ම අපේ නැතිවෙන්නේ ශ්‍රමිකයන්. යතුරුපැදි අනතුරු තමයි අපට වැඩියෙන්ම තියෙන්නේ. උදාහරණයක් වශයෙන් කිව්වොත් ළමයි රිය අනතුරට භාජනය වෙනවා. අම්මායි තාත්තායි හෙල්මට් දාගෙන පුතාව හරි දුවව හරි මැද තියාගෙන යනවා. එයාට හෙල්මට් නෑ. මම දන්නේ නෑ ආදරේ කියන්නේ මොකද්ද කියලා. පාරට වැටුණ ගමන් ඔළුව තමායි පාරේ වදින්නේ."
මේ අතර, ඊයේ (25) උදෑසන පමුණුගම පොලිස් වසමේ ජාඇළ - මීගමුව මාර්ගයේ බෝපිටිය ප්‍රදේශයේ දී ජාඇළ සිට බෝපිටිය දෙසට ධාවනය කළ ලොරි රථයක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
බරපතළ තුවාල ලැබු 31 හැවිරිදි පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙනවා.
ඇඹිලිපිටිය - මොරකැටිය මාර්ගයේ ඉලුක්කැටිය ප්‍රදේශයේ දී ද රිය අනතුරක් සිදුව තිබෙනවා.
ඇඹිලිපිටිය දෙස සිට මොරකැටිය දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පදිකයන් තිදෙනෙකුගේ ගැටීමෙන් එම අනතුර සිදුව තිබෙනවා.
තුවාල ලැබු පදිකයන් තිදෙනා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව 58 හැවිරිදි හා 71 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
මේ අතර දුම්මලසූරිය පොලිස් වසමේ කුලියාපිටිය - මාදම්පේ මාර්ගයේ පළුගමුව ප්‍රදේශයේ දී මාදම්පේ දෙස සිට කුලියාපිටිය දෙසට ගමන්කළ පාපැදියක් දකුණුපස අතුරුමාර්ගයකට හැරවීමට යෑමේ දී එම දිසාවටම ධාවනය වූ මෝටර් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙන අතර 79 හැවිරිදි පාපදිකරු එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.
