යුපුන් ඇතුළු ක්‍රීඩකයන්ට ලෝක ශුරතා තරගාවලිය අහිමිවෙයිද ?
අමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේදී පැවැත්වෙන ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ ආරම්භය සඳහා තවත් ඉතිරිව ඇත්තේ සතියකටත් වඩා අඩු කාලයක්. මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු සුදුසුකම් ලබා ගත්තා.
ඒ යුපුන් අබේකෝන්,ගයන්තිකා අබේරත්න,නිලානි රත්නායක සහ සාරංගි ද සිල්වා. කෙසේ වෙතත් එළඹෙන පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලේදී පදක්කමක් දිනාගැනීමේ අරමුණ ඇතිව දුර පැනීමේ ක්‍රීඩිකා සාරංගි ද සිල්වා ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කළේ ඒ අතරතුරයි.
තරගාවලියේ ආරම්භය සඳහා සතියකටත් වඩා අඩු කාලයක් ඉතිරිව තිබුණත් ඉතාලියේ සිටින යුපුන්ට සහ සෙසු ක්‍රීඩිකාවන් දෙදෙනාට අමෙරිකාව බලා පිටත්වය යන්නට අවශ්‍ය වීසා බලපත් තවමත් ලැබී නැහැ. එවන් පසුබිමක් තුළ අදාළ සිදුවීම සම්බන්ධයෙන් යුපුන් අබේකෝන්ගේ පුහුණුකරු ඉතාලි ජාතික ක්ලොඩියෝ ලිචිඩේලෝ සිය සමාජ මාධ්‍ය ගිණුමට සටහනක් තබමින් පවසන්නේ යුපුන් අබේකෝන්ගේ ලෝක ශූරතා ගමන මේ වන විට අවධානම් තත්ත්වයක පවතින බවටයි.
ඔහු වැඩි දුරටත් පවසන්නේ ලබන සඳුදා පිටත්ව යන්නට සිදු වුවහොත් දීර්ඝ ගුවන් ගමන හේතුවෙන් යුපුන්ට ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලිය මඟ හැරීමේ වැඩි ඉඩක් පවතින බවටයි. මෙලෙසින් අවසන් මොහොත දක්වාම අදාළ කාරණා ඉටුකරන්නට මෙරට ක්‍රීඩාව කරවන බලධාරීන් කල් මැරීම හේතුවෙන් ඉන් ක්‍රීඩකයාගේ මානසිකත්වයට වන බලපෑම ද සුළුපටු නොවන බවත් යුපුන්ගේ පුහුණුකරු පෙන්වා දෙනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමේ සභාපති විශ්‍රාමික ජෙනරාල් පාලිත ප්‍රනාන්දුගෙන් Hiru Sports කළ විමසීමකදී ඔහු පවසා සිටියේ හෙට දිනයේදී වීසා බලපත් ලබා දී ක්‍රීඩක ක්‍රිඩීකාවන් කඩිනමින් අමෙරිකාව බලා පිටත් කර හරින්නට අවශ්‍ය කටයුතු දැනටමත් සලසා ඇති බවටයි.