යූ ටියුබ් සහ ෆේස්බුක් නියාමනය කිරීමට නව පනතක් එයි..
මෙරට ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රතිචාරය මේ මස අගදී ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් චීනය සමග ද යළි සාකච්ඡා ආරම්භකර ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ජනාධිපති ලේකම් කාර්යාලයේදී පුවත්පත් කර්තෘවරුන් සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් සමග අද (06) පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පැවසුවා.
යූ ටියුබ්, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය නියාමනය සඳහා සිංගප්පූරුවේ දැනට භාවිත කරන විදුලි සංදේශ හා සමාජ මාධ්‍ය පනතට සමාන වන ආකාරයේ පනතක් මෙරටට හඳුන්වාදීමට ද ක්‍රියාකරන බවයි එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ. පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය සඳහා ශ්‍රී ලංකාව තුළ නීති පැවතිය ද සමාජ මාධ්‍ය නියාමනය සඳහා එවැනි නීති රාමුවක් මෙරට තුළ නොමැති බවයි මාධ්‍ය ප්‍රධානීන් සමග අද පැවති සාකච්ඡාවේදී ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් රජය අනුගමනය කරන වැඩපිළිවල පිළිබඳ මාධ්‍යවේදීන් ජනාධිපතිවරයාගෙන් විමසූ විට ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.
එම හේතුවෙන් සිංගපූරුවේ දැනට භාවිත කරන විදුලි සංදේශ හා සමාජ මාධ්‍ය පනත තමන් ගෙන්වා ගත් බවත් එය අධ්‍යනය කර ශ්‍රී ලංකාවට ගැලපෙන ආකාරයේ නීති රාමුවක් සකස් කිරීම සඳහා ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කරනු ලැබුවා. ජනාධිපති නිල නිවසේදී අද පැවති මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම මේ වසරේ මුල් භාගයේදී ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරන බවයි.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සිය ප්‍රතිචාරය මේ මස අවසන් වීමට පෙර දැනුම්දෙනු ඇති බවත්, ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් චීනය සමග තවත් වටයක සාකච්ඡාවක් මේ දිනවල ආරම්භ කර ඇති අතර එම සාකච්ඡා ද ඵලදායී ලෙස අවසන් වනු ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළා. ,
මෙරටට ලබාදී ඇති ණය කපා හැරීමක් පිළිබඳ චීනයෙන් ඉල්ලීමක් කර නොමැති බවත්, අවුරුදු 20ක කාලයක් තුළ ණය නැවත ගෙවීම සඳහා කාලය ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවය වික්‍රමසිංහ මහතා පැවසුවේ.
ඒ සඳහා චීනයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.
එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලැබීමෙන් පසු ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ආයතන ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය සහාය සම්බන්ධයෙන් මේ වනවිටත් සාධනීය ප්‍රතිචාර දක්වා ඇති බවද ජනාධිපතිවරයා කියා සිටියා.