එල් නිනෝ ගැන ලෝකයටම අනතුරු ඇඟවීමක් - වසර 150ක ඉතිහාසයේ දරුණුම එල් නිනෝ තත්වය විය හැකියි

By Malith Madushan Jul 16, 2026 11:49 AM GMT
Report

2026 එල් නිනෝ තත්ත්වය වසර 150කට ආසන්න කාලයක වාර්තා වූ ප්‍රබලම එල් නිනෝ සිදුවීම් අතරට එක්විය හැකි බවට කාලගුණ විශේෂඥයින් අනතුරු අඟවා තිබේ.

ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය (NOAA) සඳහන් කරන්නේ පැසිෆික් සාගරයේ එල් නිනෝ තත්ත්වය නිල වශයෙන් වර්ධනය වී ඇති බවත්, 2026-27 උතුරු අර්ධගෝල ශීත ඍතුව තුළ එය තවදුරටත් ශක්තිමත් විය හැකි බවත්ය.

මෙම වසර මුලදී පැසිෆික් කලාපය ලා නිනා තත්ත්වයක බලපෑමට යටත්ව තිබූ අතර, ඉන් පසු කෙටි කාලයක් තුළ එල් නිනෝ තත්ත්වයකට මාරුවීම විද්‍යාඥයින්ගේ අවධානයට ලක්ව තිබේ. NOAA අනාවැකි අනුව 2026 නොවැම්බර් සිට 2027 ජනවාරි අතර කාලය තුළ මෙම එල් නිනෝ තත්ත්වය “ඉතා ප්‍රබල” මට්ටමකට පත්වීමේ සම්භාවිතාව සියයට 63ක් පමණ වේ.

ලෝකයම රස්නෙන් ඇවිලෙයි - ජර්මනියේ උෂ්ණත්වය ඉහළටම - මරණ 5,120 ක් දක්වා ඉහළට

ලෝකයම රස්නෙන් ඇවිලෙයි - ජර්මනියේ උෂ්ණත්වය ඉහළටම - මරණ 5,120 ක් දක්වා ඉහළට

මෙම තත්ත්වය 1950 වසරෙන් පසු වාර්තා වූ ප්‍රබලතම එල් නිනෝ සිදුවීම් අතරට එක්විය හැකි බව විද්‍යාඥයින් පවසයි. 2025 අවසානයේ සිට උතුරු පැසිෆික් සාගරයේ විශාල ප්‍රදේශයක පවතින අසාමාන්‍ය සාගර උෂ්ණත්ව වැඩිවීමක් ද විද්‍යාඥයින්ගේ අවධානයට ලක්ව ඇත. මෙම සාගර උණුසුම් තත්ත්වය එල් නිනෝ වර්ධනයට බලපාන්නේද යන්න පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරමින් පවතී.

දේශගුණ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ 2026 එල් නිනෝව 1997-98 සහ 2015-16 කාලවල ඇති වූ ප්‍රබල එල් නිනෝ සිදුවීම් අභිබවා යා හැකි බවට ඇතැම් විශ්ලේෂණ පෙන්වා දෙන බවයි. “සුපිරි එල් නිනෝ” හෝ “ගොඩ්සිලා එල් නිනෝ” යන යෙදුම් සාමාන්‍යයෙන් භාවිත කරන්නේ සාගර මතුපිට උෂ්ණත්වය සාමාන්‍යයට වඩා සෙල්සියස් අංශක 2කට වැඩි ලෙස ඉහළ යන ඉතා ප්‍රබල එල් නිනෝ තත්ත්වයන් විස්තර කිරීමටය.

කෙසේ වෙතත් මෙම යෙදුම් නිල විද්‍යාත්මක වර්ගීකරණ නොවන බව එක්සත් රාජධානියේ කාලගුණ සේවාව සඳහන් කරයි. දේශගුණ විපර්යාස හේතුවෙන් එල් නිනෝ බලපෑම් තවදුරටත් දැඩි විය හැකි බව විශේෂඥයින් පවසයි. ගෝලීය උණුසුම එල් නිනෝ ඇති නොකරන නමුත්, පවතින උෂ්ණත්ව මට්ටම් ඉහළ යාම නිසා එහි බලපෑම් වඩාත් දැඩි විය හැකි බව ඔවුහු පෙන්වා දෙති.

එල් නිනෝ බලපෑම යටතේ පැසිෆික් කලාපයේ ඇතැම් ප්‍රදේශවල වැඩි වැසි ඇති විය හැකි අතර, ඔස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව සහ අග්නිදිග ආසියාවේ ඇතැම් ප්‍රදේශවල නියඟ අවදානම ඉහළ යා හැකිය. ඇමරිකාවේ දකුණු ප්‍රාන්තවලට වැඩි වර්ෂාපතනය සහ කුණාටු තත්ත්වයන් ඇතිවිය හැකි බව විශේෂඥයින් සඳහන් කරයි.

කෙසේ වෙතත්, සෑම එල් නිනෝ සිදුවීමකම බලපෑම් එකිනෙකට වෙනස් වන බවද ඔවුහු අවධාරණය කරති.

විද්‍යාඥයින් පවසන්නේ එල් නිනෝවේ උණුසුම් බලපෑම බොහෝවිට එහි උපරිම අවස්ථාවෙන් මාස කිහිපයකට පසුව දැනෙන බැවින් 2027 වසරේදී ගෝලීය උෂ්ණත්ව වාර්තා අභියෝගයට ලක්විය හැකි බවයි. කෙසේ වෙතත්, අනාවැකි වෙනස් විය හැකි බැවින් ජනතාව කලබලයට පත් නොවිය යුතු බවත්, රජයන් සහ ප්‍රජාවන් ඇතිවිය හැකි කාලගුණික අවදානම් සඳහා සූදානම් විය යුතු බවත් විශේෂඥයින් පවසයි.     

එක්සත් රාජධානිය උණුසුමෙන් පිච්චෙයි - ඉතිහාසයේ උණුසුම්ම දිනය වාර්තා වේ

එක්සත් රාජධානිය උණුසුමෙන් පිච්චෙයි - ඉතිහාසයේ උණුසුම්ම දිනය වාර්තා වේ