ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක ජනතාව ඇමරිකාවට වඩා චීනයට කැමැත්තක් දක්වන බව සමීක්ෂණයකින් හෙළි වෙයි
පිව් පර්යේෂණ මධ්‍යස්ථානය (Pew Research Center) විසින් සිදුකරන ලද නවතම සමීක්ෂණයකට අනුව, ශ්‍රී ලාංකික ජනතාවගෙන් වැඩි පිරිසක් අමෙරිකාවට වඩා චීනය කෙරෙහි වඩාත් හිතකර මතයක් දක්වන බව අනාවරණය වී තිබේ.
අමෙරිකාව මූලික කරගත් මෙම පර්යේෂණ ආයතනය විසින් පසුගිය පෙබරවාරි සිට මැයි දක්වා කාලය තුළ රටවල් 36ක පුද්ගලයින් 42,000කට අධික පිරිසක් සම්බන්ධ කර ගනිමින් මෙම සමීක්ෂණය සිදු කර ඇත.
සමීක්ෂණයේ සමස්ත ප්‍රතිඵල අනුව, සහභාගී වූ රටවල් රැසක ජනතාව අමෙරිකාවට වඩා චීනය පිළිබඳ වැඩි හිතකර අදහසක් පළ කර ඇති බව සඳහන් වේ.
පිව් පර්යේෂණ මධ්‍යස්ථානය විසින් මෙවැනි ආකාරයේ සමීක්ෂණයක් සිදු කළ පළමු අවස්ථාව මෙය වන අතර, එහිදී අනාවරණය වී ඇති තවත් කරුණක් වන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා චීන ජනාධිපති ෂී ජින්පින් පිළිබඳ ලෝක ජනතාව අතර වැඩි හිතකර ප්‍රතිචාරයක් පවතින බවයි.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් විට, සමීක්ෂණයට එක්වූ පිරිසෙන් සියයට 72ක් චීනය පිළිබඳ හිතකර අදහසක් පළ කර තිබේ. එමෙන්ම අසල්වැසි පාකිස්තානයේදී චීනය කෙරෙහි ඇති කැමැත්ත සියයට 90ක් දක්වා ඉහළ අගයක් ගෙන ඇත.
සමීක්ෂණයට ඇතුළත් කළ රටවල් 36 අතරින් චීනයට වැඩිම හිතකර ප්‍රතිචාරයක් හිමිව ඇත්තේ පාකිස්තානයෙනි. මේ අතර, අමෙරිකාවට සමීප රටක් ලෙස සැලකෙන ඊශ්‍රායලයේද සියයට 81ක පිරිසක් චීනය පිළිබඳ හිතකර අදහසක් පළ කර තිබීම විශේෂත්වයකි.