මේ අයගේ විශ්‍රාම වැටුප ගැන රජයෙන් විශේෂ තීරණයක් - නව විශ්‍රාම වැටුප් ක්‍රමයකට ජනපතිගෙන් නියෝග

Report

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් යෝජිත දායක විශ්‍රාම වැටුප් ක්‍රමයේ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර එය 2027 අයවැය යෝජනාවලට ඇතුළත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවේදීය.

විශ්‍රාම වැටුප ගැන ලොකු ආන්දෝලනයක් ලබාදෙන වැටුපේ වෙනසක් - සියල්ල එළි කරමින් විශ්‍රාමිකයන් මහ පාරට

විශ්‍රාම වැටුප ගැන ලොකු ආන්දෝලනයක් ලබාදෙන වැටුපේ වෙනසක් - සියල්ල එළි කරමින් විශ්‍රාමිකයන් මහ පාරට

රටට විදේශ විනිමය ගෙන එන ප්‍රධානතම ක්ෂේත්‍රයක් වන විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා විධිමත් විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා, ඒ සඳහා අවශ්‍ය නීතිමය හා පරිපාලනමය බාධක කඩිනමින් නිරාකරණය කරන ලෙස ද උපදෙස් ලබා දුන්නේය.

සංචාරක සංවර්ධන ව්‍යාපෘති දිස්ත්‍රික් මට්ටමින් වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා ඒවාට වෙන් කෙරෙන මුදල් ප්‍රතිපාදන සෘජුවම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මුදල් සංචිත වෙත යොමු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

එමගින් දිස්ත්‍රික් සංවර්ධන කමිටු සහ සංචාරක කමිටු අතර සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කළ හැකි බව ඔහු පෙන්වා දුන්නේය. මීට අමතරව සීගිරිය, ගලේවෙල සහ ත්‍රිකුණාමලය කේන්ද්‍ර කරගනිමින් මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇති සංවර්ධන ව්‍යාපෘති, සංචාරක අමාත්‍යාංශය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට ද තීරණය විය.

ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පවතින ප්‍රමාද අවම කිරීම සඳහා ලබන වසරේ ජනවාරි මස මුල් සතියේ සිටම ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කළ හැකි වන පරිදි මුදල් අමාත්‍යාංශය හඳුන්වා දී ඇති නව සැලැස්ම අනුගමනය කරන ලෙසද මෙහිදී උපදෙස් ලබාදී තිබේ.

සියලුම රාජ්‍ය ආයතනවලට අති විශේෂ චක්‍රලේඛයක් - ජූලි 31 තෙක් ක්‍රියාත්මක කරන්නයැයි නියෝග

සියලුම රාජ්‍ය ආයතනවලට අති විශේෂ චක්‍රලේඛයක් - ජූලි 31 තෙක් ක්‍රියාත්මක කරන්නයැයි නියෝග

එමෙන්ම කොන්සියුලර් සේවා තවදුරටත් ඩිජිටල්කරණය කිරීම, සංචාරක අමාත්‍යාංශය යටතේ පවතින සම්පත් හා ඉඩම් පිළිබඳ විධිමත් දත්ත පද්ධතියක් සකස් කිරීම සහ 2030 වන විට සංචාරක ක්ෂේත්‍රයට අවශ්‍ය ලක්ෂ 8ක මානව සම්පත බිහිකිරීම සඳහා හෝටල් පාසල් පුහුණු වැඩසටහන් පුළුල් කිරීම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

මෙම සාකච්ඡාව සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ඇතුළු අදාළ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.