වසා දමා තිබූ ආනවිලුන්දාව දුම්රිය උපපොළට යළි පණ ලැබෙයි
තාවකාලිකව වසා දැමූ ආනවිලුන්දාව දුම්රිය උපපොළ අතුරු ස්ථානාධිපතිවරයෙකු පත් කිරීමෙන් පසු යළි මහජන සේවයට විවෘත කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.
ආනවිලුන්දාව උපපොළේ සේවය කළ උප ස්ථානාධිපතිවරයා ඉල්ලා අස්වීමෙන් අනතුරුව, එම උපපොළ තාවකාලිකව වසා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණි. කෙසේ වෙතත්, මගී සේවා යළි ආරම්භ කිරීම සඳහා අතුරු ස්ථානාධිපතිවරයෙකු එම උපපොළට අනුයුක්ත කර ඇති බව සඳහන් වේ.
මීට අමතරව, මාස කිහිපයක සිට වසා තිබූ අකුරල සහ අන්දඩෝල දුම්රිය උපපොළවල සේවාද යළි ආරම්භ කිරීමට කටයුතු කර ඇති අතර, අද (16) හෝ හෙට (17) අතුරු ස්ථානාධිපතිවරුන් යොදවා මහජන සේවා යථා තත්ත්වයට පත් කිරීමට නියමිත බව සංගමය පවසයි.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ මහලේකම් කසුන් චාමර ජයසේකර මහතා සඳහන් කළේ, 2025 අගෝස්තු 15 වැනිදා උපපොළ 25ක් සඳහා නව උප ස්ථානාධිපතිවරුන් බඳවා ගැනීමේ ගැසට් නිවේදනය නිකුත් කළද, එම බඳවා ගැනීමේ ක්‍රියාවලිය මෙතෙක් අවසන් කර නොමැති බවයි.
ඉහළ කළමනාකාරිත්වයේ අකාර්යක්ෂමතාව හේතුවෙන් දැනට සේවයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරුන් අමතර වියදමක් දරා පුරප්පාඩු පිරවීම සඳහා යෙදවීමට සිදුව ඇති බවටද ඔහු චෝදනා කළේය.