2021න් පසු සිදුවන දැවැන්තම ගුරු බඳවා ගැනීම - 180,000කගේ විභාග ප්‍රතිඵල සහ පත්වීම් ළගදීම

Report

රට තුළ පවතින ගුරු හිඟය අවම කිරීම සඳහා විෂය පාදක ගුරු බඳවා ගැනීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා ප්‍රකාශ කළේය.

ආණමඩුව, කරුක්කුමඩුව කනිෂ්ඨ විද්‍යාලයේ නව පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම නව බඳවා ගැනීමේ ක්‍රමය යටතේ පාසල්වල දැඩි ගුරු හිඟයක් පවතින විෂයයන් සඳහා ප්‍රමුඛතාව ලබාදෙන බවයි.

විශේෂයෙන් ගණිතය ඇතුළු අත්‍යවශ්‍ය විෂයයන්හි පුරප්පාඩු කඩිනමින් පිරවීමට මෙය උපකාරී වනු ඇති බව ද ඔහු පැවසීය.

2021 වසරෙන් පසු විධිමත් ගුරු බඳවා ගැනීමක් සිදු නොවූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙම වසර අවසන් වීමට පෙර නව ගුරුවරුන් 30,000 දෙනෙකු බඳවා ගැනීමට රජය සැලසුම් කර ඇති බව ප්‍රකාශ කළේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ බඳවා ගැනීම් සඳහා අවශ්‍ය අරමුදල් සහ රාජ්‍ය අනුමැතිය මේ වන විටත් ලබාගෙන ඇති අතර, උපාධිධාරීන් ඇතුළු අයදුම්කරුවන් 180,000කට ආසන්න පිරිසක් මැයි මාසයේ පැවති තරඟ විභාගයට පෙනී සිට ඇති බවයි.

එම විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම මේ වන විට අවසන් අදියරේ පවතින බව ද ඔහු සඳහන් කළේය.

විෂය පාදක බඳවා ගැනීමේ ක්‍රමවේදය මඟින් පාසල්වලට වඩාත් අවශ්‍ය විෂයයන් සඳහා සුදුසුකම් ලත් ගුරුවරුන් පත් කිරීමට හැකි වන බවත්, එමඟින් අධ්‍යාපන පද්ධතියේ පවතින ගුරු හිඟය සැලකිය යුතු ලෙස අවම කිරීමට හැකි වනු ඇති බවත් අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය. එමෙන්ම, විදුහල්පති සේවයට බලපා ඇති ගැටලු සඳහා ද කඩිනම් විසඳුම් ලබාදීමට රජය පියවර ගන්නා බව ඔහු පැවසීය.

අභිනව නාවික හමුදාපති අග්‍රාමාත්‍යතුමිය හමුවෙයි

අභිනව නාවික හමුදාපති අග්‍රාමාත්‍යතුමිය හමුවෙයි

උත්සවය අතරතුර කරුක්කුමඩුව කනිෂ්ඨ විද්‍යාලයේ පුස්තකාල පහසුකම් තවදුරටත් සංවර්ධනය කිරීමටත්, අමාත්‍යාංශයේ "ජංගම පුස්තකාල" වැඩසටහන දිවයිනේ තවත් ප්‍රදේශ වෙත ව්‍යාප්ත කිරීමටත් කටයුතු කරන බවට අමාත්‍යවරයා පොරොන්දු විය.

මීට අමතරව, මත්ද්‍රව්‍ය අනිසි භාවිතය වැළැක්වීම සහ ඩෙංගු මර්දන වැඩසටහන් සාර්ථක කර ගැනීම සඳහා මහජන සහයෝගය අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එම කටයුතු සඳහා සක්‍රීයව දායක වන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය.