ඩොලර් වෙනුවට රුපියල්වලින් දිගුකාලීන ණය - ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් නව අවස්ථාවක්
මෙරට ව්‍යාපාරිකයින්ට මුහුණදීමට සිදුවන විදේශ විනිමය අවදානම අවම කරමින්, පුනර්ජනනීය බලශක්ති සහ යටිතල පහසුකම් ක්ෂේත්රවල පෞද්ගලික ආයෝජන දිරිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රුපියල්වලින් දිගුකාලීන මූල්‍ය පහසුකම් ලබාදීමේ නව වැඩපිළිවෙළක් ලෝක බැංකු සමූහය විසින් ආරම්භ කර තිබේ.
ආසියානු කලාපය තුළ මෙවැනි ආකාරයේ ප්‍රථම ගනුදෙනුව ලෙස සැලකෙන මෙම වැඩපිළිවෙළ යටතේ, ලෝක බැංකු සමූහයේ භාණ්ඩාගාරය (World Bank Group Treasury) විසින් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ HSBC ශ්‍රී ලංකා ආයතනය අතර වසර හයක කාලයක් සඳහා ශ්‍රී ලංකා රුපියල්වලින් ණය ලබාගැනීමේ පහසුකමක් සකස් කර ඇත.
මෙම ණය පහසුකමේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 5කට සමාන වන අතර, එය ස්ථාවර පොලී අනුපාතයක් යටතේ ක්‍රියාත්මක වේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට සූදානම් - සංවිධානාත්මක අපරාධ පනත හැදූ අයත් ඇමති සුනිල් වටගල හෙළි කරයි
එමෙන්ම, ශ්‍රී ලංකාව තුළ IFC ආයතනය ස්ථාපිත කළ පළමු ණය ගැනීමේ මාර්ගය ලෙසද මෙය සැලකේ. මෙම පහසුකම හරහා මේ වන විටත් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රය සඳහා දිගුකාලීන මූල්‍ය ප්‍රතිපාදන සැපයීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව, ලෝක බැංකු සමූහයේ භාණ්ඩාගාරය විසින් සපයන ලද අතිරේක දේශීය මුදල් අරමුදල් ද එක්කර ගනිමින්, ශ්‍රී ලංකාවේ විශාලතම පුනර්ජනනීය බලශක්ති සමාගමකට අමෙරිකානු ඩොලර් මිලියන 10කට සමාන වසර 10ක කාලයක් සඳහා වූ රුපියල් ණයක් ලබාදීමට IFC ආයතනය කටයුතු කර ඇත.
මෙම වැඩපිළිවෙළ මඟින් ව්‍යාපාරිකයින්ට විදේශ විනිමය උච්චාවචනයන් හේතුවෙන් ඇතිවන අවදානම් අවම කරගනිමින්, දේශීය මුදලින් දිගුකාලීන ආයෝජන සඳහා මූල්‍ය පහසුකම් ලබාගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.