මාතෘ හා ළදරු සෞඛ්‍යයට නව ශක්තියක් — නිපුණතා වැඩමුළුව ආරම්භයි
මාතෘ සහ ළදරු සෞඛ්‍ය නිපුණතා සංවර්ධන වැඩමුළුවේ (Capacity Building Workshop on Maternal and Newborn Healthcare) පළමු වැඩමුළුව කළුතර ගල්ලස්ස ළමා හා මාතෘ රෝහලේ දී අද (24) ආරම්භ කළා.
ඒ මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින්.
වෛද්‍ය නිලධාරීන්, හෙදියන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් වෙනුවෙන් පවත්වනු ලබන මෙම නිපුණතා සංවර්ධන වැඩමුළුව ශ්‍රී ලංකා පරිජන්ම සංගමය “Perinatal Society of Sri Lanka” කළුතර ළමා හා මාතෘ රෝහල, ජාතික සෞඛ්‍ය විද්‍යායතනය සහ කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සමග එක්වයි සංවිධානය කර ඇත්තේ.
මව්වරුන්ට සහ අලුත උපන් බිළිඳුන්ට ප්‍රශස්ත සත්කාර ලබදීම ශක්තිමත් කිරීමට සහ වැඩිදියුණු කිරීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දැනුම, විශේෂඥතාව සහ කුසලතා ප්‍රවර්ධනය කරමින් එම සේවාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණ වනවා.
මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ධම්මිකා ජයලත්, කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නවීන් ද සොයිසා, කළුතර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මධුභාෂිණි කරුණාරත්න, ශ්‍රී ලංකා පරිජන්ම සංගමයේ සභාපතිනී මහාචාර්ය රුවන්ති පෙරේරා, ප්‍රසව හා නාරිවේද විශේෂඥ උපදේශක සහ වැඩසටහන් සම්බන්ධීකාරක වෛද්‍ය ශාරදා ජයලත් යන මහත්ම මහත්මීන් මෙන්ම විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එක්වුණා.