සියල්ල හඩවමින් තවත් ජනප්‍රිය කලාකරුවෙකු සිය දිවි සැරිය නිම කරයි

Report

ශ්‍රී ලංකාවට ජනසන්නිවේදන විෂය හඳුන්වා දීමේ පුරෝගාමියා වූත්, ප්‍රකට කවියෙකු, සාහිත්‍ය හා සිනමා විචාරකයෙකු මෙන්ම ජාත්‍යන්තරයේ පිළිගත් විද්වතෙකු වූත් මහාචාර්ය විමල් දිසානායක මහතා පසුගිය 07 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේදී සිය දිවිසැරිය නිමා කළේය.

කුරුණෑගල නිකවැව, නාගලකන්ද ග්‍රාමයේ උපත ලබා මියයන විට 86 වැනි වියේ පසුවූ ඒ මහතා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් බිහිවී සිංහල මෙන්ම ඉංග්‍රීසි මහාචාර්යවරයෙකු ලෙස ද විශිෂ්ට සේවයක් කළ ප්‍රාඥයෙකි.

හෙට උදෑසන 9 දක්වා මේ පැති අවදානමේ - දැන්ම ප්‍රවේශම් වෙන්න

හෙට උදෑසන 9 දක්වා මේ පැති අවදානමේ - දැන්ම ප්‍රවේශම් වෙන්න

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ සහ පේරාදෙණිය සරසවියේ සිට සිය සමීපතම මිතුරා වූ මහාචාර්ය දිසානායකයන් පිළිබඳව ආචාර්ය සරත් අමුණුගම මහතා සිය මතකය අවර්ජනය කර තිබේ.

ආචාර්ය අමුණුගම මහතා සඳහන් කරන පරිදි, පේරාදෙණිය සරසවි ඉතිහාසයේ උච්චතම අවධිය වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, සිරි ගුණසිංහ සහ ගුණදාස අමරසේකර යන වියතුන් විසූ සමයේ 1958 වසරේදී විමල් දිසානායකයන් සරසවියට ඇතුළත් විය.

එකල සිංහල විශේෂවේදී උපාධියට අනුබද්ධ විෂයයන් ලෙස සංස්කෘත හෝ පාලි තෝරාගැනීම සාමාන්‍ය සිරිත වුවද, විමල් දිසානායකයන් ඉංග්‍රීසි සහ සංස්කෘත යන භාෂා ද්විත්වයම තෝරාගනිමින් සිය දුර්ලභ භාෂා හැකියාව ප්‍රකට කළේය. සරසවි අධ්‍යාපනයෙන් පසු ලේක්හවුස් ආයතනයේ වාර්තාකරුවෙකු ලෙසත්, පේරාදෙණිය සහ කොළඹ විශ්වවිද්‍යාලවල සහකාර කථිකාචාර්යවරයෙකු ලෙසත් කටයුතු කළ ඔහු, 1964 වසරේදී විද්‍යාලංකාර (වත්මන් කැලණිය) විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස සම්බන්ධ විය.

කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ සේවය කරමින් සිටියදී මෙරට විශ්වවිද්‍යාල පද්ධතියට ජනසන්නිවේදන විෂය හඳුන්වා දෙමින් එහි පළමු අංශප්‍රධානියා ලෙස කටයුතු කිරීම විමල් දිසානායකයන් අතින් සිදුවූ ඓතිහාසික කාර්යභාරයකි. පසුව ආචාර්ය උපාධිය සඳහා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය තෝරාගත් ඔහු, එංගලන්තයේ වෙසෙන සමයේ ගුණදාස අමරසේකරයන් ඇතුළු පිරිස සමඟ එක්ව බීබීසී 'සංදේශය' ගුවන්විදුලි වැඩසටහනට ද සක්‍රීයව දායක විය.

ඔහු සිය නිසඳැස් සහ සිව්පද කවි මෙන්ම අනූව දශකයේ පාසල් සමයේදී ආචාර්ය අමුණුගමයන් සමඟ එක්ව 'නිසදැස' සඟරාව සංස්කරණය කිරීමට ද කටයුතු කළේය.

සක්‍රීය වූ නිරිතදිග මෝසමෙන් දිවයිනටම බලපෑම් - ප්‍රදේශ රැසකට තද සුළං අනතුරු ඇඟවීම්

සක්‍රීය වූ නිරිතදිග මෝසමෙන් දිවයිනටම බලපෑම් - ප්‍රදේශ රැසකට තද සුළං අනතුරු ඇඟවීම්

සාහිත්‍යයට අමතරව ආසියානු සහ ලාංකේය සිනමාව පිළිබඳව ජාත්‍යන්තර මට්ටමේ විශ්ලේෂණයන් ඉදිරිපත් කළ හෙතෙම, 'Indian Popular Cinema' වැනි ප්‍රකට කෘති සම්පාදනය කළේය. ඇමෙරිකාවේ හොනලුලුහි හවායි විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ මහාචාර්යවරයා ලෙස මෙන්ම එහි ඊස්ට්-වෙස්ට් අධ්‍යයන මධ්‍යස්ථානයේ ද සේවය කළ ඔහු, හවායි ජාත්‍යන්තර සිනමා උළෙලේ ආරම්භක සාමාජිකයෙකු ලෙස ද කටයුතු කළේය.

තමන් ප්‍රාඥයෙකු බව ප්‍රචාරය නොකර සරලව ජීවත් වූ විමල් දිසානායකයන්, දේශීය අනන්‍යතාව රැකගනිමින් ජාත්‍යන්තරයට විවෘත වූ විශිෂ්ටතම ලාංකේය විද්වතෙකු ලෙස ඉතිහාසයට එක්වෙයි.