මුළු බොලිවුඩයම හෙල්ලූ තවත් අතිශය ජනප්‍රිය නිළියක් ලංකාවට පැමිණෙයි
ගෝල්ඩන් ග්ලෝබ් සහ එමී සම්මානලාභී ප්‍රකට හොලිවුඩ් නිළියක මෙන්ම 'බිම්බෝම්බ උපදේශක කණ්ඩායමේ' තානාපතිවරියක වන රොසමන්ඩ් පයික් මහත්මිය විශේෂ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටියි. පසුගිය වසර 17 ක කාලය තුළ ශ්‍රී ලංකාව තුළ බිම්බෝම්බ මිලියනයක් සාර්ථකව ඉවත් කර අවසන් කිරීමේ ඓතිහාසික සන්ධිස්ථානය සැමරීම ඇයගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී තිබේ.
තම සංචාරය අතරතුර පයික් මහත්මිය උතුරු පළාතේ මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවල බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් සිදුවන ප්‍රදේශ වෙත ගොස් නිරීක්ෂණයක නිරත විය.
එහිදී ඇය බිම්බෝම්බ හේතුවෙන් විපතට පත් දෙමළ සහ සිංහල ප්‍රජාවන් මෙන්ම අවාසනාවන්ත අනතුරුවලින් දිවි ගලවා ගත් පුද්ගලයන් ද හමුවී සාකච්ඡා කළාය. එපමණක් නොව, ප්‍රදේශයේ පාසල් දරුවන් වෙනුවෙන් සංවිධානය කර තිබූ බිම්බෝම්බ අවදානම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයකට ද ඇය සක්‍රීයව සහභාගී වූවාය.
තවද, ඇය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවී මෙරට මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ වත්මන් ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡා කිරීමට ද නියමිතව ඇත.
මෙම විශේෂ අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාව බිම්බෝම්බවලින් තොර සුරක්ෂිත රටක් බවට පත්වීමේ ගමනේදී අත්කර ගෙන ඇත්තේ විශිෂ්ට සහ ප්‍රශංසනීය ප්‍රගතියක් බවයි.
පසුගිය වසර 17 තුළ මෙරටින් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කිරීමට හැකිවී ඇති අතර, ඒ හේතුවෙන් වාර්ෂිකව සිදුවූ බිම්බෝම්බ අනතුරු සංඛ්‍යාව 250 ක සිට 3 දක්වා අතිශය පහළ මට්ටමකට අවම කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවී තිබේ.
මෙම සාර්ථක බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් නිසා යුද්ධයෙන් අවතැන් වූ මිලියනයකට ආසන්න ජනගහනයකට යළිත් සිය මුල් භූමි වෙත ගොස් බියෙන් සැකෙන් තොරව ආරක්ෂිතව ජීවත් වීමේ පරිසරය උදා වී ඇත.