මෙරට covid මර්දනයට WHO සහය

corona virus Covid 19 WHO Sri lanka
By Sithumi Jul 15, 2021 02:25 PM GMT
Sithumi

Sithumi

Report

කොරෝනා වසංගතය පාලනයට ශ්‍රී ලංකා රජය ගන්නා උත්සාහයට ලෝක සෞඛ්‍ය සංවිධානය සම්පූර්ණ සහාය ලැබෙන බව එහි මෙරට නිත්‍ය නියෝජිතවරිය පවසයි. 

  අලකා සිං මහත්මිය මේ බව පැවසුවේ අද (15) කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පැවැත්වුණු එන්නත්කරණ වැඩසටහන නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේදීය. එම එන්නත්කරණ වැඩසටහන ශ්‍රී ලංකා යුද හමුදාවේ මූලිකත්වයෙන් සිදුවේ.

මේ අතර දිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත් ප්‍රමාණය වාර්තාකරමින් ඊයේ (14) මෙරට පුද්ගලයන් 384,763 දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත් ලබාදී තිබේ. එමෙන්ම බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන් සඳහා යුද හමුදාවෙන් සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම අද කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ එළිමහන් රංග පීඨයේදී ආරම්භ වී තිබුණි.

එම එන්නත්කරණ කටයුතු සිදුකරන්නේ යුද හමුදාවේ වෛද්‍ය කණ්ඩායම් විසින්ය. අද සිට සෑම දිනකම උදෑසන 8.30ට මෙහි එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන අතර එය සවස 4.30 දක්වා ක්‍රියාත්මකය.

යුද හමුදාව නිවේදනය කළේ බස්නාහිර පළාතේ පදිංචිකරුවන්ට ජාතික හැඳුනුම්පත, විදුලි බිල්පතක්, දුරකථන බිල්පතක් හෝ ඡන්ද නාමලේඛණයේ ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද පිටපතක් රැගෙන ඒමෙන් විහාරමහාදේවී උද්‍යානයේ ස්ථාපිත මධ්‍යස්ථානයෙන් එන්නත් ලබාගැනීමේ හැකියාව පවතින බවය.