'ඩ්‍රොප් ෂිපින්' Drop shipping කිව්වට මේ ගැන දැනන් හිටියද? ඕඩරේ දාන්න කළින් කියවන්න
අන්තර්ජාලය ඔස්සේ සිදුවන වෙළඳාමේ ප්‍රධානතම ක්‍රමවේදයක් ලෙස 'ඩ්‍රොප් ෂිපින්' (Drop shipping) හැඳින් වේ.
ඒ අනුව 'ඩ්‍රොප් ෂිපින්' යනු කිසිදු භාණ්ඩයක් තමන් සතුව තබා නොගන්නා අතරමැදියෙකු විසින් පාරිභෝගික ඇණවුම් ලබාගෙන ඒවා සෘජුවම වෙනත් නිෂ්පාදකයෙකු හෝ වෙළෙන්දෙකු ඔස්සේ පාරිභෝගිකයා වෙත යොමු කරන ව්‍යාපාරික ආකෘතියක් වේ.
එහිදී අදාළ පුද්ගලයා හෝ නියෝජිතයා ක්‍රියා කරන්නේ හුදෙක් අතරමැදියෙකු ලෙස පමණක් වන අතර, නවීන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදාගනිමින් නිර්මාණය කළ, එහෙත් භෞතිකව භාණ්ඩ නොමැති වෙබ් පිටු ඔස්සේ මෙම ගනුදෙනු සිදු කරයි.
ඒ අනුව යමින් වර්තමානය වන විට ෂොපිෆයි (Shopify) වැනි වේදිකා මෙන්ම වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද මෙම ව්‍යාපාරික ක්‍රමය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී තිබීම දක්නට ලැබේ.

මෙම 'ඩ්‍රොප් ෂිපින්' නියුතු වන්නන්ගේ අරමුණ වන්නේ දේශීය මෙන්ම ජාත්‍යන්තර නිෂ්පාදකයින් හා සම්බන්ධ වෙමින් වෙළඳපොළේ පවතින හිඩැස් පිරවීම, නවතම විලාසිතා ප්‍රවර්ධනය කිරීම හෝ දුර්ලභ භාණ්ඩ අලෙවි කිරීම හරහා ලාභ ඉපැයීමයි.
එමෙන්ම පාරිභෝගිකයින්ට විදේශීය භාණ්ඩ ගෙන්වා ගැනීමේදී මුහුණ පෑමට සිදුවන රේගු බදු, භාෂාමය බාධක සහ විශාල ප්‍රමාණවලින් ඇණවුම් කිරීමට සිදුවීම වැනි ගැටලු මඟහරවා ගැනීමට ද පිළිගත් ඩ්‍රොප් ෂිපින් නියෝජිතයෙකු ඔස්සේ කටයුතු කළ හැක.
කෙසේ වෙතත් බොහෝ රටවල නීතියට අනුව ඩ්‍රොප් ෂිපින් යනු නීත්‍යානුකූල ව්‍යාපාරික ක්‍රමවේදයක් වුවද, ඊට අදාළ බදු නීති සහ විනිවිදභාවය පවත්වා ගැනීම අනිවාර්ය වේ.
එමෙන්ම ඉන්ස්ටග්‍රෑම් වැනි වේදිකා මඟින් මෙවැනි ව්‍යාපාරවලට යම් යම් නීතිරීති පනවා තිබුණද, කෘත්‍රිම බුද්ධිය සහ අවම කේතකරණ දැනුමක් භාවිතයෙන් ඉතා කෙටි කලකින් ව්‍යාජ වෙළඳසැල් නිර්මාණය කිරීමේ හැකියාව හේතුවෙන් පාරිභෝගිකයින් මුලාවට පත්වීමේ අවදානමක් ද ඇත.

එහිදී ඇතම් වෙළෙන්දන් සැබෑ පාරිභෝගික ඇණවුම් සේ පෙන්වමින් ව්‍යාජ වීඩියෝ පට සමාජ මාධ්‍ය වෙත මුදාහරියි.
ඒ තුළින් පාරිභෝගිකයින්ට තමන් සෘජුවම විශ්වාසදායී වෙළෙන්දෙකු සමඟ ගනුදෙනු කරන්නේ යැයි හැඟීමක් ඇති කරවයි.
මෙහිදී පාරිභෝගිකයින් මෙන්ම ඇතැම් විට ඩ්‍රොප් ෂිපින් නියෝජිතයින් ද විවිධ වංචාවලට ලක්විය හැකි අතර, නිෂ්පාදනවල මිල ගණන් අසාධාරණ ආකාරයට ඉහළ යාම සුලභ තත්ත්වයක් වේ. එසේම තොග වෙළෙඳුන් විසින් දෝෂ සහිත භාණ්ඩ එවීම, ව්‍යාජ හෝ අවසර නොලත් නිෂ්පාදන අලෙවි කිරීම, සහ භාණ්ඩ ප්‍රවාහනයේදී සෞඛ්‍ය හා ආරක්ෂිත ප්‍රමිතීන් උල්ලංඝනය වීම වැනි ගැටලු රැසකට පාරිභෝගිකයින්ට මුහුණ දීමට ද මේ හේතුවෙන් සිදුවේ.
තවද භාණ්ඩ ලැබීමට දිගු කාලයක් ගතවීම හෝ සම්පූර්ණයෙන්ම භාණ්ඩ නොලැබී යාම, මුදල් ආපසු ලබා ගැනීමේ අපහසුතා, මෙන්ම බහු පාර්ශවයන් අතර ගනුදෙනුකරුවන්ගේ පුද්ගලික සහ මූල්‍ය තොරතුරු හුවමාරු වීම හේතුවෙන් සයිබර් අපරාධ සහ තතුබෑමේ (Phishing) අවදානම්වලට ද මාර්ගගත මිලදී ගන්නන් නිරාවරණය වන බව වාර්තා වේ. එබැවින් ඔබත් ඩ්‍රොප් ෂිපින් භාවිත කිරීමේදී මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ඇතිවන අපහසුතා රැසක් මඟ හැර ගත හැකි වනු ඇත.
