ජනපති ප්‍රසිද්ධියේ කරන වරදක් ගැන රනිල්ටම ලියයි...
ජනවරම අනුව සකස් කළ නව ව්‍යවස්ථාව මහජනයාට ඉදිරිපත් නොකිරීමේ වරද සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ජාතික සංවිධාන එකමුතුවේ කැදවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.
අතිගරු ජනාධිපතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.
ගරු ජනාධිපතිතුමනි,
ජනාධිපතිවරයාගේ ජනවරම අනුව සකස් කළ නව ව්‍යවස්ථාව මහජනයාට ඉදිරිපත් නොකිරීමේ වරද පිළිබඳව ඔබතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ජනාධිපති තනතුරට පත්වුවද ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තිය අනුව ජනාධිපතිවරයාට විශේෂිත ජනවරමක් ඇත.
ඒ අනුව ඔබතුමා විසින් නියෝජනය කරනු ලබන්නේ නියමිත කාලයට පෙර ඉල්ලා අස් වූ හිටපු ජනාධිපතිවරයාගේ ජනවරම බව පිළිගත යුතුය.
මේ රටේ 69 ලක්ෂයක ජනතාව නියෝජනය කරන එම ජනවරම ප්‍රධාන වශයෙන් නිර්මාණය වන්නේ මූලික පොරොන්දුවක් මතය.
එනම් අප රට මුහුණ දෙන බරපතළ ප්‍රශ්න රාශියකට හේතු වී ඇති පවතින ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමය.
ඒ අනුව මහජන අදහස් ලබා ගනිමින් නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා හිටපු ජනාධිපතිවරයා විසින් විද්වත් කමිටුවක් පත්කරනු ලැබීය.
බොහෝවිට ඔබතුමාගේ පක්ෂය ද එම කමිටුවට යෝජනා ඉදිරිපත් කරන්නට ඇත. නමුත් හිටපු ජනාධිපතිවරයා තම ජනවරමට ගරු කරමින් නව ව්‍යවස්ථාව කඩිනමින් සම්මත කිරීමට ක්‍රියා කිරීම වෙනුවට තම සහෝදරයා වෙනුවෙන් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරනු ලැබීය.
ඒ මගින් එතුමා තමා බලයට පත් කළ බලවේග සහ බිත්තිවල චිත්‍ර අඳිමින් සමාජය තුළ නව අපේක්ෂා ජනිත කළ තරුණයින් විසින් ඉල්ලා සිටි මහා වෙනස හෙවත් ‘සිස්ටම් චේන්ජ්’ අවතක්සේරු කරනු ලැබීය.
එම වරදට එතුමාට පමණක් නොව සමස්ත ජනතාවට බරපතළ වන්දියක් ගෙවීමට සිදු වී ඇත.
කෙසේ වෙතත් දැන් එතුමාගේ ජනවරම නියෝජනය කරන ඔබතුමාට එම වරද නිවැරදි කිරීමට අවස්ථාව උදා වී ඇත.
නමුත් ඔබතුමාගේ මෙන්ම රටේ අවාසනාවකට එම වරද නිවැරදි කිරීම වෙනුවට ඔබතුමා විසින් ඊට වඩා බරපතළ වරදකට මුල පුරා ඇති බව කණගාටුවෙන් වුවද පෙන්වා දිය යුතුය.
එනම් බලය විමධ්‍යගත කිරීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම, සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට රට වැසියන් ලෙස සමානාත්මතාවය සහතික කිරීම වැනි ඔබතුමා විසින්ම සඳහන් කරන යහපත් දේ ඉටු කිරීම සඳහා නව ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීම වෙනුවට 13වැනි සංශෝධනය බලාත්මක කිරීම මගින් නව අර්බුදයක් නිර්මාණය කිරීමය.
13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කළහොත් උතුරේ සාමාන්‍ය ජනතාව කුලවාදයෙන් පීඩාවට පත්කරන බෙදුම්වාදී බලලෝභී දේශපාලනඥයන් අතට පොලිස් සහ ඉඩම් බලතල ලැබෙනු ඇත.
ඒ මගින් නිර්මාණය වන පොලිස් රාජ්‍යය තුළ පළාත් පොලිසිය පාලනය කිරීමේ පූර්ණ බලය මහ ඇමතිවරයාට ලැබෙන අතර ඒ තුළ එම ජනතාවට යහපතක් සිදුනොවන බව ඔබතුමා ඉතා හොඳින් දන්නා කරුණකි.
ඒ ආකාරයට ඔබතුමා විසින් 13 වැනි සංශෝධනය පරිපාලන වශයෙන් බලාත්මක කිරීම මගින් පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කළහොත් ඊළඟ පියවර වන්නේ ෆෙඩරල් බලතල ක්‍රියාත්මක කිරීම මගින් මධ්‍යම රජය සමග ගැටුම් නිර්මාණය කිරීමය.
එම ක්‍රියාවලිය තුළ ජාත්‍යන්තර මැදිහත්වීමකට පාර කැපෙන බව සහ එය අවසන් වන්නේ රට දෙකඩ කිරීම මගින් බවට ජාත්‍යන්තර දේශපාලන තත්වයන් හොඳින් හදාරන ඔබතුමාට වටහා ගැනීම අමාරු නැත.
එසේ වුවහොත් ඒ මහා ඓතිහාසික පාපකර්මයට ඔබතුමාට පුද්ගලිකව වගකීමට සිදුවනු ඇත.
නමුත් නව ව්‍යවස්ථාවක් මගින් උතුරේ ජනතාවගේ සාධාරණ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීම මගින් බෙදුම්වාදී දේශපාලනඥයින් නිරායුධ කිරීමේ හැකියාව ඇත.
නව ව්‍යවස්ථාවක 13ක් නොමැති බැවින් බෙදුම්වාදී අනතුරින් රට ගලවා ගැනීමේ හැකියාව ඔබතුමාට ලැබෙන අතර ඒ මඟින් නව ඉතිහාසයක් නිර්මාණය කිරීමට ඔබතුමාට අවස්ථාව ලැබෙනු ඇත.
එසේම එමගින් සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවගේ අපේක්ෂා ඉටු කළහොත් ඔබතුමාට ඊළඟ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට ද අවස්ථාවක් නිර්මාණය විය හැක.
ඒ සඳහා වන පළමු පියවර දැනට සකස් කර ඇති නව ව්‍යවස්ථාව රටේ ජනතාවට ඉදිරිපත් කිරීම බව ඉතා පැහැදිලිය.
ඒ නිසා මේ වන විට ජනාධිපති කාර්යාලයට බාර දී ඇති විදවත් කමිටු වාර්තාව සහ නව ව්‍යවස්ථා කෙටුම්පත වහාම ප්‍රකාශයට පත් කරන ලෙස ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.
මේ වගට,
ආචාර්ය ගුණදාස අමරසේකර
කැඳවුම්කරු
ජාතික සංවිධාන එකමුතුව