අද කාලගුණයේ ඇඟට දැනෙන වෙනසක්..මේ ප්‍රදේශ වල අය දැඩි අවධානයෙන් සිටින්න..

Sri Lanka Weather Northern province Trincomale Northern central province Wayaba province
By Aruna Mar 30, 2022 11:46 PM GMT
Aruna

Aruna

Report

උතරු, උතුරු – මැද සහ වයඹ පළාත් වලටත් ත්‍රිකුණාමල හා මඩකලපුවේ ඇතැම් ස්ථාන වලටත්, අද මිනිස් සිරුරට දැනෙන අවධානය යොමුකළ යුතු මට්ටමේ උණුසුමක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් වැඩි වේලාවක් හිරු එළියට නිරාවරණයවීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි බවත්, ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම, හැකි තරම් සෙවණ ඇති ස්ථානවල විවේකගැනීම, වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳ අවධානයෙන් පසුවීම, කුඩා ළමුන් තනිව වාහනවල රඳවා නොයාම, අධික වෙහෙසකාරී කටයුතුවල යෙදීමෙන් වැළකීම, සුදු හෝ ලා පැහැ සැහැල්ලු ඇඳුම් ඇඳීම වැනි උපදෙස් අනුගමනය කරන ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසුවේ ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම ඉදිරි දිනවලදී ඇරඹෙන බැවින් මෙලෙස ශරීරයට දැනෙන උෂ්ණත්වයේ ඉහළයාමක් සිදුවන බවයි.  

මේ අතර දිවයිනේ සෙසු ප්‍රදේශ රැසකට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එසේම, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටී.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now