ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් හදිසි නිවේදනයක් - හෙට හවසට ප්‍රදේශ රැසකට තද වැසි සහ අකුණු
ඉදිරි පැය 36 තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද (10) පස්වරු 4.00ට නිකුත් කළ ඉදිරි පැය 36 සඳහා වන සාමාන්‍ය කාලගුණ අනාවැකියට අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, අනුරාධපුරය සහ මන්නාරම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක් තද වැසි ඇතිවීමේ හැකියාව පවතී.
එමෙන්ම, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.