ඥානසාර හිමියන්ගේ චීවරය ගලවන්න දෙන්නේ නෑ- මහා සංඝරත්නය මහනුවර දළදා මාලිගාව ඉදිරිපිටින් පාරට බසී
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ උන්වහන්සේ නිදහස් කරගැනීමේ අරමුණින් මහා සංඝරත්නය පෙරටු කරගත් පාගමනක් අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් ආරම්භ වී තිබේ .
පාගමන ආරම්භ කිරීමට පෙර මහනුවර මඟුල් මඩුවේදී විශේෂ ආශිර්වාද සත්‍යක්‍රියාවක් ද පැවැත්විණි.
එහිදී අදහස් දැක්වූ පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ සඳහන් කළේ, වත්මන් රජය විසින් ඥානසාර හිමියන්ට එරෙහිව අත්තනෝමතික ලෙස ගෙන ඇති ක්‍රියාමාර්ග තරයේ හෙළා දකින බවයි.
අතීතයේ වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් ජාතියේ සහ සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව වෙනුවෙන් හඬ නැඟූ ආකාරයටම, ඥානසාර හිමියන් ද රට, ජාතිය සහ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් හඬ අවදි කළ බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
එමෙන්ම, ඥානසාර හිමියන් සිරගත කර ඇත්තේ උන්වහන්සේගේ පෞද්ගලික කාරණයක් වෙනුවෙන් නොව, සමස්ත ජාතිය සහ ශාසනය වෙනුවෙන් බව සුමංගල හිමියෝ ප්‍රකාශ කළහ.
උන්වහන්සේ තනි නොකර, කොන්දේසි විරහිතව උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටීම සිව්වනක් පිරිසේම වගකීමක් බව ද උන්වහන්සේ අවධාරණය කළහ
මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන්ගේ ප්‍රතිමාව අසලින් ආරම්භ වූ මෙම අධිෂ්ඨාන පාගමන, ඥානසාර හිමියන් රඳවා සිටින ස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතව ඇත.
ඥානසාර හිමියන්ට නිදහස ලැබෙන තෙක් මෙම සටන අත් නොහරින බව පැවසූ උලපනේ සුමංගල හිමියෝ, පවතින මර්දනකාරී තත්ත්වය හමුවේ අවිහිංසාවාදීව පාගමනට එක්වන ලෙස සමස්ත ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියහ.