නුවර කසල බැහැර කිරීම අර්බුදයක් වේ…මලමුත‍්‍ර නිසා කසල වෙන් කරන්න බෑ..
දළදා වන්දනාව සඳහා මහනුවරට අධික පිරිසක් පැමිණීම හේතුවෙන් දෛනිකව බැහැර කෙරෙන කසළ ප්‍රමාණය මෙන් දස ගුණයක් මේ වන විට ජනනය වී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ කසළ කළමනාකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ කරුණාරත්න පැවැසීය.
නගරයට එක් වන කසළ, අවසානයේදී බැහැර කෙරෙන, “ගුහාගොඩ කසළ අංගණයේ” ධාරිතාවද සීමා සහිත නිසා මෙය බරපතළ ගැටලුවක් නිර්මාණය කරනු ඇති බවට හෙතෙම අනතුරු ඇඟවීය.
සාමාන්‍ය දිනවල දිරන හා නොදිරන කසළ ලෙස වෙන් න්කොට ගුහාගොඩ කසළ අංගණයට බැහැර කෙරුණද පසුගිය දින කිහිපයේ එක් රැස් වූ කසළ ඒ අයුරීන් වෙන් කර ගැනීමට හෝ නොහැකි තත්ත්වයට පත්ව ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
නගරයේ ඇතැම් තැනක බැහැර කොට ඇති කසළ, මිනිස් මළ මුත්‍රා සහිතව බැහැර කොට ඇති නිසා ඒවා කිසි ලෙසකින්වත් වෙන් කළ නොහැකි තත්ත්වයක පවතින බවද හෙතෙම පෙන්වා දුන්නේය.
මේ හේතුවෙන් සීමිත ඉඩ ප්‍රමාණයක් සහිත ගුහාගොඩ කසළ අංගණයට මිශ්‍ර කසළ බැහැර කිරීම ගැටලුවක් වනු ඇති බවද ඔහු කීය. ගත වූ දින දහය තුළදී පමණක් දළදා වන්දනාව සඳහා පැමිණ දින කිහිපයක් රැඳී සිටි පිරිස් අතරින් එක අයෙක් දිනකට කසළ ග්‍රෑම් පන්සියයක්වත් ජනනය කළේ නම්, ආසන්න වශයෙන් ලක්ෂ දහයක් මේ අයුරින් කෙරෙනු ඇත.
මේ ආකාරයට කසළ බැහැරකොට ඇත්නම් ටොන් පන්සියයක අමතර කසළ තොගයක් රැස වන බවද අනුරුද්ධ කරුණාරත්න පෙන්වා දුන්නේය. ට්‍රැක්ටර් ගමන් වාර දෙසිය පනහකින් හෝ තුන්සියයකින් මේ කසළ ප්‍රමාණය නගරයෙන් ඉවත් කර ගත හැකි වුවත් ඒවා ද නිසි ලෙස වෙනකොට බැහැර කොට නොමැති නිසා ගැටලුව තවත් උග්‍ර වන බවද ඔහු සඳහන් කළේය.
නගරයට පැමිණි පිරිස් කිසිදු අවබෝධයකින් තොරව කසළ බැහැර කරන බවට නිරීක්ෂණය වී ඇති නිසා මෙය පවතින ගැටලුව තවත් උග්‍ර කරන්නක් විය හැකි බවට හෙතෙම අනතුරු ඇඟවීය.
බලාපොරොත්තු නොවුණු තරම් අධික ජනගහනයක් එකවර නුවර නගරයට පැමිණීම නිසා එහි පහසුකම් සැලසීමේ සහ දරා ගැනීමේ ධාරිතාවද ඉක්මවා ගොස් ඇති බවද ඔහු කීය.
