ඉදිරි සති වලදී දවසකට පැය කිහිපයක් වතුර කපනවා - බවුසරෙන් ජලය බෙදන්න සූදානමක්
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා නිවේදනය කර ඇත්තේ රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළ දී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇති බවයි.
එමෙන්ම මේ වනවිට එවැනි ජල කප්පාදුවක් මණ්ඩලය මඟින් සිදුනොකළ ද පවතින කාලගුණික තත්ත්වය මත ඉදිරියේ දී දිනය පුරා ජල සැපයුම ලබාදීම අසීරු වන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා පවසා ඇත.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මේ වනවිට අඹතලේ ඇතුළු සියලු ජල පවිත්‍රාගාරවල නිෂ්පාදන ධාරිතාවයට බලපෑම් එල්ල නොවූණ ද උස්බිම් සඳහා ජලය ලබාදීම අඩුපීඩන තත්ත්වයකට පැමිණ ඇති බවත් වැසි තත්ත්වය ඉදිරියේ දී බලාපොරොත්තු වන බවත්ය.
එමෙන්ම පවතින ජල ධාරිතාවය අරපිරිමැස්මෙන් යුතුව පරිහරණය කරන ලෙසත් අඩුපීඩනයක් යටතේ ජලය ලැබෙන ප්‍රදේශ සඳහා මේ වනවිට බවුසර් යොදා ගනිමින් ජලය බෙදාහැරීමට කටයුතු කරමින් සිටින බවත් ඔහු නිවේදනය කර ඇත.