යළිත් සංචරණ සීමා..? විශේෂඥයෙක්ගෙන් භයානක අනතුරු ඇඟවීමක්..

WHO COVID19 LOCKDOWN OMICRON DR RANJITH BATUVANTHUDAVA
By Sewvandhi Dec 04, 2021 08:00 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින්නේ නම්, යළිත් රට තුළ සීමා පැනවීම සිදුවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. සියලු පුද්ගලයින් එන්නත්කරණයට ලක්වීම් අතිශය වැදගත් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කළේ.

ඊයේ (03) දින මෙරටින් හමු වූ නව ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයා ද, එන්නත්කරණයට ලක්ව නොමැති බවත් ඔහු නයිජිරියාවේ සංචාරය කර , මෙරටට පැමිණි පුද්ගලයෙක් බවයි මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කළේ.

එලෙස ඊයේ නව ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු හඳුනා ගත්ත ද , එලෙස හඳුනා නොගත් පුද්ගලයින් ද තවදුරටත් සමාජයේ සිටිය හැකි බවත් මෙම රෝගයෙන් වැළකීමට ඇති එකම අවිය එන්නත්කරණය බවයි වෛද්‍යවරයා පැවසුවේ.

මීට අමතරව සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය බව ද ඒ මහතා සඳහන් කළා. ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින්ගේ PCR පරීක්ෂණවල යම් යම් වෙනස්කම් පැහැදිලිව හඳුනා ගත හැකි බවත් ඒ අනුව එවැනි ආසාදිතයෙකු මග හැරී යාමට ඇති ඉඩකඩ ඉතා අඩු බවත් වෛද්‍ය බටුවන්තුඩාව මහතා පෙන්වා දෙනවා.

එමෙන්ම ,සීග්‍ර ව්‍යාප්තියක් සහිත ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ලොව ප්‍රචලිත කොරෝනා ප්‍රභේදය බවට පත්විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා. පසුගිය 26 වනදා දකුණු අප්‍රිකාවෙන් ප්‍රථමවරට ඔමික්‍රොන් විකෘති ප්‍රභේදය සහිත ආසාදිතයෙකු හඳුනා ගැනුනු අතර, මේ වනවිට එය රටවල් 40 ක ව්‍යාප්තවී තිබෙනවා.

මේ අතර, ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් කලබලයට පත්වීම නොව කළ යුත්තේ ඊට මුහුණදීමට සූදානම් වීම බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

කෙසේ නමුත් ඒ සඳහා නව එන්නතක් අවශ්‍ය නොවන බවයි, එමඟින් අවධාරණය කළේ. මේ අතර, පසුගිය සති දෙක තුළ ශ්‍රී ලංකාවට පැමිණි කොරෝනා ආසාදිත පුද්ගලයන් 94 දෙනෙකුගේ ජාන පරීක්ෂණ ප්‍රතිඵල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය මගින් ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

එහි අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළේ ඔමික්‍රොන් ආසාදිත නයිජීරියානුවා හැර ඉන් 93 දෙනෙකුම ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයේ ආසාදිතයන් බවයි. ඒ අතුරෙන් ශ්‍රී ලංකාවට ආවේනික ඒ. වයි. 28 සහ ඒ. අයි. 104 උප ප්‍රභේද ආසාදනය වූවන් කොළඹ, ගම්පහ, නුවරඑළිය, වවුනියාව, වැලිගම ආදී ප්‍රදේශ රැසකින් සොයාගෙන තිබෙනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW