යුද හමුදාපතිගෙන් විශේෂ නිවේදනයක්

covid19 infections hemantha herath delta variety vaccinationa
By Sewvandhi Jul 29, 2021 10:53 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දෛනිකව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක් යළි පෙන්නුම් කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඊයේ දිනයේ ද 1,900 කට අධික කොවිඩ් ආසාදිතයින් පිරිසක් හමුවූ බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ. මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් මෙලෙස 1,900 සීමාව ඉක්මවා ගියේ සති 06 කට පමණ පසුවයි.

මියගොස් ඇති බහුතරය එන්නත් නොගත් අය නැතිනම් එක එන්නතක් ගත් අය බවත්, දීර්ඝ කාලීන නිදන්ගත රෝග පවතින්නේ නම් කඩිනමින් එන්නතක් ලබා ගැනීමේ වැදගත්කම ගැනද යුද හමුදාපතිවරයා අවධාරණය කළා.

 එමෙන්ම සංචරණ සීමා ලිහිල් කරමින් ලබා දී ඇති නිදහස ඉදිරියේ දී දෛනික ආසාදිතයින් ඉහළ යාමට හේතුවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ආසාදිතයින්ගේ වැඩිවීමට ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑමක් නොමැති බව පැවසිය නොහැකි බවය.

එසේ වුවද ජනතාවට ලබා දී ඇති ලිහිල් කිරීම් තුළින් කොවිඩ් වෛරසයේ සමාජ ව්‍යාප්තිය වර්ධනය වී ඇතැයි ද පැවසු වෛද්‍යවරයා, රට දීර්ඝ කාලයක් වසා දැමිය නොහැකි තත්ත්වයක් තුළ ජනතාව එය සමබරව පවත්වා ගත යුතු යැයිද කියා සිටියේය. මෙහිදී වැඩිදුරත් අදහස් දැක්වු විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,

"ඒ වැඩිවීම අපි සුළුවෙන් තැකිය හැකි දෙයක් නෙමෙයි. ඒ නිසා සියලුදෙනාම ඉතාමත් ම සැලකිල්ලෙන් මේක තවදුරටත් හෙට 2000 දක්වා වැඩි වුණොත් අනෙක් දවසේ 2500 දක්වා වැඩි වුණොත් නැවතත් අපි මැයි මාසයේ මුහුණ දුන්න බරපතළ තත්ත්වයට නැවත මුහුණ දෙන්න ඉඩ තියෙනවා. කාර්යාලවල, වෙළෙඳසැල්වල, සුපිරි වෙළෙඳසැල්වල තිබුණු සෞඛ්‍ය පහසුකම් අද වෙනකොට යම් ප්‍රමාණයකට අඬාල වෙලා තියෙනවා. සෑම කෙනෙක් ම අත සෝදා ගෙන ඒ ස්ථානවලින් ඇතුළු වෙන්න කියන එක, විස්තර ලබාගන්න කියන ආදි ඒ කටයුතු නැවත පණගන්වලා ඉදිරියට කරගෙන යන්න කියලා කියනවා. එසේ නොවුණහොත් ඉදිරියේ දී ඇති විය හැකි රෝගී වැඩිවීමත් එක්ක නැවතත් මේ ආර්ථික කටයුතු, සාමාජික කටයුතුවල සීමාවන් ඇති කිරීමට සමහර විට නොවැළැක්වන්න හැකි කරුණක් වෙන්න ඉඩ තියෙනවා."

මේ අතර පවතින කොවිඩ් අවදානම නොසළකා හරිමින් ඇතැම් පාර්ශව කටයුතු කිරීම හේතුවෙන් උද්ඝෝෂණ හා පුද්ගල එක්රැස්වීම් අවම කිරීම සඳහා ඉදිරියේ දී කොන්දේසි පැනවීමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

“දැන් පවතින තත්ත්වය ඉතාමත්ව භයානකයි. රෝගීන් සංඛ්‍යාව දෛනිකව වැඩි වෙනවා. ඒ වගේම වැඩිවෙන රෝගීන්ගේ රෝග ලක්ෂණ පහළ වීම ඉතා වැඩි ප්‍රවණතාවයක් තියෙනවා කියලා පේන්න තියෙනවා. ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩකඩ බොහෝම සීමිතයි. ඔක්සිජන් අවශ්‍යතාවය ඉතාම ඉහළ ගිහින් කියලා විශේෂඥයින් අනතුරු ඇඟවනවා. ඒ නිසා පවතින තත්ත්වය ඉතාම අවධානම්. එය සලකා බලමින් සමාජය තුළ සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමට මහජනතාව පෙළඹවීමට ඕනෑම මොහොතක නෛතික ක්‍රියාමාර්ග ගැනීමට පොලීසියට හෝ අනෙකුත් ආයතනවලට නිර්දේශ ලබාදීමට කටයුතු කරනවා.“


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now