ඉදිරි සති 2ක ගැන විශේෂ අනතුරු ඇගවීමක්..විශේෂඥයෙකුගෙන් පැහැදිළි කිරීමක්..

vaccination Covid19 Delta Hemantha Herath Omicron
By Sewvandhi Jan 04, 2022 08:19 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළ මෙරට දැවැන්ත ආසාදන රැල්ලක් ඇති වීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අනතුරු අඟවයි. ඒ හේතුවෙන් කඩිනමින් බූස්ටර් මාත්‍රාව ලබාගැනීම සහ නිසි සෞඛ්‍ය පුරුදු දැඩිව අනුගමනය කිරීම සිදුකළ යුතු බව එම සංගමය පෙන්වාදෙයි.

ඔමික්‍රෝන් ප්‍රභේදය රට තුළ සංසරණය වෙමින් පවතින වාතාවරණය තුළ උත්සව සමයේ ජනතාවගේ හැසිරීම සැළකිල්ලට ගැනීමේදී දැවැන්ත ආසාදන රැල්ලක් ඇති වීම වැළැක්විය නොහැකි බව ඔවුන් පවසයි.

මෙතෙක් ප්‍රමුඛව පැවති ඩෙල්ටා ප්‍රභේදය අභිබවමින් ලොව බොහෝ රටවල සීඝ්‍රයෙන් පැතිර යන ඔමික්‍රෝන් ප්‍රභේදය බරපතළ නොවූවද පැතිරීමේ ඉහළ හැකියාව තුළ රෝගීන් සංඛ්‍යාව වැඩිවීම සෞඛ්‍ය පද්ධතියට බලපෑම් එල්ල කළ හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වාදෙයි.

මේ වන විටත් මෙරට ඉලක්කගත ජනගහනයෙන් බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇත්තේ සියයට 25ක් පමණක් වන අතර ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් දරුණු රෝගී තත්ත්වයන්ට පත්වීම, රෝහල් ධාරිතාව ඉක්මවා යාම හා රට තවදුරටත් ආර්ථික ව්‍යසනයට රැගෙන යාම වළක්වා ගැනීම සඳහා බූස්ටර් මාත්‍රාව ලබාගන්නා ලෙස එම සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර ඔමික්‍රෝන් ව්‍යාප්තිය ව්‍යසනයක් බවට පත්වීම වළක්වා ගැනීම සඳහා තවදුරටත් හැකියාව පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේය. වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

"ඔමික්‍රොන් ප්‍රභේදය මේ වන විට ලංකාවේ හමුවෙලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ මේක සැරිසරනවා කියන එක කාටත් රහසක් නෙමේ. මේ වන විට අපි දන්නේ නෑ පසුගිය සතියක් වැනි කාලය තුළ නොයෙකුත් දේවල් පැවතුණා. ජනතාව ඒකරාශ්‍රී වුණා. ඒ අනුව මොන ආකාරයේ ප්‍රතිඵලයක් ඉදිරි සතියක් දෙකක් ඇතුළත ඇති වෙයිද කියලා දන්නේ නෑ.

නමුත් මට ලොකු විශ්වාසයක් තියෙනවා අපි සියලුදෙනා එක්රැස් වෙලා වගකීමෙන් කටයුතු කළොත් මේ ඔමික්‍රෝන් රෝගය ව්‍යවසනයක් නොවී අපිට කලමනාකරණය කර ගන්න පුළුවන් වෙයි කියලා. ඒ සම්බන්ධයෙන් අපට කරන්න තියෙන වැදගත්ම දේ තමා අපි සෞඛ්‍ය පුරුදු හැකි පමණින් අනුගමනය කරන එක"


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now