භයානක Omicron ප්‍රභේදය මෙරටට ආවොත් කළ හැක්කේ කුමක්ද..? මහාචාර්ය නීලිකා මලවිගේ කියන භයානක සත්‍යය..?

By Sewvandhi Dec 02, 2021 12:59 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිරයාම පිළිබඳ නිසි අවබෝධයක් ශ්‍රී ලංකාව සතු අතර, යම් හෙයකින් වෛරසය රට තුළට ඇතුළු වුවහොත් ජාන විශ්ලේෂණයකින් එය හඳුනාගැනීමට, පරීක්ෂණාගාර පහසුකම් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. “ඔමික්‍රෝන් වෛරසය පිටු දැකීමට රට සූදානම්” ද මැයෙන් අද (02) පස්වරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කළ මාධ්‍ය හමුවේ දීයි මෙම අදහස් පළ කෙරුණේ.

මෙතෙක් පැවති කොරෝනා වෛරස ප්‍රභේද 04ට වඩා ඔමික්‍රොන් ප්‍රභේදයේ ව්‍යාප්තිය වේගවත්විය හැකි අතර, කොවිඩි වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයන්ට වුවද එය ආසාධනය විය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පෙන්වා දෙනවා.

ඉදිරි සති දෙක තුන තුළ ඔමික්‍රොන් ප්‍රභේදයේ හැසිරීම පිළිබඳ පැහැදිලි අදහසක් ලබාගැනීමට හැකිවනු ඇති බව පෙන්වා දුන් නීලිකා මලවිගේ මහත්මිය, ප්‍රතිශක්තිකරණය ඉහළ නම් විකෘති ප්‍රභේදවලට බිය විය යුතු නැති බව ද සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ .ලෝකයේ රටවල් 24කින් මේ වන විට ඔමික්‍රෝන් ප්‍රභේදය හමු වී ඇති බවත් ඒ පිළිබඳ ලෝක සෞඛ්‍ය අංශ විශේෂ අවධානයෙන් පසුවන බවත් සඳහන් කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැවැන්ත කැපවීම සහ මැදිහත් වීම හේතුවෙන් කොවිඩ් පාලනයෙන් ලෝකයේ ඉහළ තැනකට රට පත්ව ඇති බවත් නව ප්‍රභේදය පාලනයට ජනතා සහාය අත්‍යාවශ්‍ය වන අතර නිසි සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් ඊට සහාය දැක්වීම සියලුදෙනාගේ වගකීම බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එච්.එස්. මුණසිංහ මහතා සඳහන් කළේ.

මෙතෙක් එන්නත් ලබා නොගත් පිරිස් වහාම එන්නත්කරණයට යොමුවීමේ අවශ්‍යතාව අවධාරණය කෙරුණු අතර, බූස්ටර් එන්නතකින් ප්‍රතිශක්තිය ඉහළ යන හෙයින් ඔමික්‍රෝන් පැමිණියත් අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නැති බව පැවසූ, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ජනතාව නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ඉතා වැදගත් බව අවධාරණය කළා.

රෝගයට බියවීමට වඩා සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින්, ප්‍රතිශක්තිකරණය පවත්වාගැනීමේ වැදගත්කම ද ඒ මහතා පෙන්වා දී තිබෙනවා. දැනට රජය මගින් සිදුකරගෙන යන කොවිඩ් මර්දන කටයුතු සාර්ථක අතර උත්සව සමයේ සංචරණ සීමා කර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානි මහාචාර්ය නීලිකා මලවිගේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එච්.එස්. මුණසිංහ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත හේරත් යන මහත්වරු ද සහභාගී වූ මාධ්‍ය හමුව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා විසින් මෙහයවනු ලැබුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW