ගම්පොළ ප්‍රාථමික සිසුන් අතර ප්‍රචණ්ඩත්වය - සිසුවකුට ගිනි තබයි! - වයස 10-11 සිසුදරුවන් 3 ක් අත්අඩංගුවට
පාවාදීමේ පළිගැනීමේ අරමුණින් පාසල් පන්ති කාමරයකදී තිනර් වලට ගිනි තබා සිසුවෙකුට ගිනි තැබූ පහ වසර සිසුන් තිදෙනෙකු ගම්පොළ කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මෙම සිද්ධිය ගම්පොළ අධ්‍යාපන කලාපයට අයත් කුරුඳුවත්ත යටපාන ප්‍රදේශයේ පිහිටි ප්‍රාථමික විද්‍යාලයකදී සිදුවූ අතර, එයට සම්බන්ධ වූයේ වයස අවුරුදු 10 සහ 11 අතර සිසුන් තිදෙනෙකි. පන්ති කාමරයේ තිබූ තිනර් බෝතලයක් සොරකම් කිරීම ගැන පාසල් බලධාරීන්ට දැනුම් දීම ඔවුන් "පාවාදීමක්" ලෙස සලකා, කෝපයට පත් වූ මෙම සිසුන් තිදෙනා තීන්ත භාජනයකට තිනර් දමා ගිනි තබා, එය සිසුවෙකු දෙසට විසි කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස එම සිසුවාගේ දෙපා ගිනිගෙන තුවාල වී ඇති අතර, සිද්ධිය සිදුවූ පෙබරවාරි 13 වන දින සිට සතියකට පසු, එනම් මාර්තු 15 වන දින, වරදකරුවන් තිදෙනා පොලිස් භාරයට ගෙන තිබේ.
තුවාල ලැබූ සිසුවාගේ ප්‍රකාශයට අනුව, පහ වසර සිසුන් කිහිපදෙනෙකු පාසලේ තිබූ තිනර් කෑන් එකක් වැසිකිළි ප්‍රදේශයට රැගෙන ගොස්, එය හලමින් ගිනි තැබීමේ ක්‍රියාවන්හි නිරත වී ඇත. පසුව එක් සිසුවෙකු බෝතලයකට තිනර් පුරවා තම පාසල් බෑගයේ සඟවා තබා ඇති අතර, මෙය පාසල් බලධාරීන්ට දැනුම් දීම නිසා ආරවුලක් ඇති වූ බව සඳහන් වේ.
මෙම සිද්ධිය පහ වසර පන්ති භාර ගුරුවරිය පන්තියේ නොසිටි අවස්ථාවක සිදුව ඇත. පාවාදීම ගැන කෝපයට පත් සිසුවා ඇතුළු තවත් සිසුන් දෙදෙනෙකු තීන්ත භාජනයකට තිනර් පුරවා එයට ගිනි තබා, පන්තියේ සිටි සිසුවෙකු දෙසට විසි කර ඇත. ගින්නෙන් බේරීමට උත්සාහ කළද, ගිනි ගන්නා තිනර් ඔහුගේ දෙපා මතට වැටීමෙන් ඔහුගේ සිරුරට ගිනි ඇවිලී ඇත. ඔහු කෑගසමින් පහ වසර පන්තියේ සිට හතර වසර පන්තිය දෙසට දිව ගොස් තිබේ.
හතර වසර පන්තියේ සිටි ගුරුවරියක් ගිනිගෙන එන සිසුවා අල්ලාගෙන, ඔහුගේ දෙපාවලට පොත් බෑග්වලින් ගසමින් සහ ජලය හලමින් ගින්න නිවා දමා ඇත. පසුව ඔහුව කුරුඳුවත්ත රෝහලට රැගෙන ගිය අතර, එහිදී ගම්පොළ ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙස උපදෙස් ලැබී ඇත.
හතර වසර පන්තියේ සිටි ගුරුවරියක් ගිනිගෙන එන සිසුවා අල්ලාගෙන, ඔහුගේ දෙපාවලට පොත් බෑග්වලින් ගසමින් සහ ජලය හලමින් ගින්න නිවා දමා ඇත. පසුව ඔහුව කුරුඳුවත්ත රෝහලට රැගෙන ගිය අතර, එහිදී ගම්පොළ ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙස උපදෙස් ලැබී ඇත.
දින පහක් රෝහලේ පසුවූ තුවාල ලැබූ සිසුවා සත්‍ය තත්ත්වය හෙළි කරමින් පොලිසියට ප්‍රකාශයක් ලබා දී ඇතත්, මුලින් ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු වී නොතිබුණි. කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා සිද්ධිය දැනගත් පසු, වයස අවුරුදු 10 සහ 11 වයස්වල සිසුන් තිදෙනා පොලිස් භාරයට ගෙන ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ඇත.
තුවාල ලැබූ සිසුවාගේ මව වන උඩහේන්තැන්න වීරාව වත්තේ පදිංචි එම්. තිලකමනි මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇත. ඇය සඳහන් කරන පරිදි, සිද්ධියෙන් පසු ඇගේ දරුවාට මාසයක් පාසල් යාමට නොහැකි වූ අතර, සුව නොවූ තුවාල සඳහා ප්‍රතිකාර ගැනීමට ත්‍රීරෝද රථයකින් රෝහලට යෑමට විශාල වියදමක් දැරීමට සිදුව ඇත. ඇය සිද්ධියට සාධාරණයක් ඉල්ලා සිටියි.
කුඩා සිසුන් සිටින පාසල් පරිශ්‍රයක ගිනි ගන්නා ද්‍රව්‍ය (තිනර්) තබා තිබීම සහ සිද්ධිය වසන් කිරීමට උත්සාහ කිරීම ගැන විමසීමට විදුහල්පතිනි නිලන්ති ප්‍රදීපිකා මහත්මියට දුරකථනයෙන් සම්බන්ධ වීමට උත්සාහ කළද, එය මාධ්‍ය විමසීමක් බව දැනගත් විට ඇය දුරකථනය විසන්ධි කර ඇත.
කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සරත් විජේසිංහ මහතා, මෙම සිද්ධිය ගම්පොළ අධිකරණයට වාර්තා කිරීමට පියවර ගෙන ඇත. වරදකරුවන් බාල වයස්කරුවන් වීම නිසා, ඔවුන් සම්බන්ධයෙන් ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව පොලිස් නීති කොට්ඨාසයෙන් උපදෙස් ලබා ගැනීමට ද කටයුතු කර ඇත.
සමාජ මාධ්‍යවල මෙම සිද්ධියට දැඩි අවධානයක් යොමු වී ඇති අතර, පාසල්වල සිසුන්ගේ ආරක්ෂාව සහ ගිනි ගන්නා ද්‍රව්‍ය ආරක්ෂිතව තැබීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, මෙවැනි සිදුවීම් වැළැක්වීමට සුදුසු පියවර ගත යුතු බවත් මත පළ වෙමින් තිබේ.
