QR ක්‍රමවේදයට ඉන්ධන නිකුත් කිරීම ගැනත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්
QR කේත ක්‍රමවේදය යටතේ ඉන්ධන නිකුත් කිරීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
එහි කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළේ, මැදපෙරදිග අවිනිශ්චිත තත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව එම සංස්ථාව වැඩිදුරටත් දන්වා ඇත්තේ QR ක්‍රමවේදයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ වැඩපිළිවෙළ අත්හිටුවීමට හෝ වෙනස් කිරීමට රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
එබැවින් දැනට ක්‍රියාත්මක ඉන්ධන බෙදාහැරීමේ ක්‍රමවේදය කිසිදු බාධාවකින් තොරව ඉදිරියටත් පවත්වාගෙන යන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා පවසා ඇති බව සඳහන්.
තවද ඔහු කියා ඇත්තේ, ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවත්, QR ක්‍රමවේදය වෙනස් කිරීම සම්බන්ධයෙන් පවතින ඇතැම් කනස්සල්ලට පදනමක් නොමැති බවත් ය.
ඒ අනුව මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වන්නේ රටේ සමස්ත ඉන්ධන පරිභෝජනය වඩාත් විධිමත් හා කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීම බවද සංස්ථාව දන්වා ඇත.
එසේම මහජනතාවට කිසිදු අපහසුතාවයකින් තොරව ඉන්ධන ලබාගැනීමට හැකි වන ලෙස මේ වන දැනට පවතින තාක්ෂණික පද්ධතියේ වෙනසක් සිදු නොකරන බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් තහවුරු කර ඇත.