වන්නිල ඇත්තන් අගමැතිනිය හමුවීමට පාර්ලිමේන්තුවට එයි

Report

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්  සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (12) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම හමුවේදී ආදිවාසී ජනතාව මුහුණ දෙන ගැටලු සහ විශේෂයෙන් පාරම්පරික ඉඩම් භුක්ති විඳීමේදී ඇතිවන දුෂ්කරතා පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.

ආදිවාසී නායකයා විසින් එම ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය දැනුවත් කළ අතර, ආදිවාසී ජනතාවට තම පාරම්පරික ඉඩම් බාධාවකින් තොරව භුක්ති විඳීමට අයිතිය ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.

මෑතදී ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් හෙන්නානිගල ගම්වාසීන්ට මෙතෙක් සහනාධාර නොලැබීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර, අදාළ නිලධාරීන් වහාම දැනුවත් කර එම පවුල් සඳහා සහන සැලසීමට පියවර ගත් බවද අග්‍රාමාත්‍යවරිය පවසයි.

එමෙන්ම දඹාන පාසලේ පවතින අඩුපාඩු පිළිබඳවද සාකච්ඡා වූ අතර, ඒවා සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.