දරුණු ගංවතුරට මිනිස්සු බිලිවෙද්දිත් හදිසි පියවර නොගත් වැලෙන්සියා ජනපති ඉල්ලා අස්වෙයි
ස්පාඤ්ඤයේ වැලෙන්සියා කලාපයේ ජනාධිපති කාර්ලෝස් මාසෝන් ඉකුත් වසරේ දී ක්ෂණිකව ඇතිවූ දරුණු ගංවතුර ආපදාව හැසිරවීමට අපොහොසත් වූ බවට පිළිගනිමින් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ සම්බන්ධයෙන් මාස ගණනාවක් තිස්සේ පැවති මහජන පීඩනය හේතුවෙන් ඔහු මෙසේ ඉල්ලා අස්වී ඇති බවයි.
2024 ඔක්තෝබර් 29 වන දින වැලෙන්සියා කලාපයේ පුද්ගලයන් 229 දෙනෙකු ගංවතුරෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එසේම අසල්වැසි ප්‍රදේශවල තවත් අටදෙනෙකු මියගිය අතර, මෙය දශක ගණනාවකට පසු ස්පාඤ්ඤයේ සිදු වූ දරුණුතම ස්වභාවික විපත වශයෙන් සැළකේ.
කෙසේ වුවද ගංවතුර විනාශය සිදුවෙමින් තිබියදීත්, කලාපීය ජනාධිපතිවරයා මාධ්‍යවේදිනී මැරිබෙල් විලාප්ලානා සමඟ පැය හතරකට ආසන්න කාලයක් ආපන ශාලාවක ගත කර ඇති බව හෙළිව තිබුණා. එමෙන්ම ඔහු දවසේ වැඩි කාලයක් හදිසි රැස්වීම්වලට සහභාගී නොවී සිටි බවට චෝදනා එල්ල විය.
මේ අතර මාසෝන්ගේ රජය හදිසි අනතුරු ඇඟවීමක් හෝ උපදෙස් වැලෙන්සියා වැසියන්ගේ දුරකථන වෙත නිකුත් කිරීමට අපොහොසත් වූ අතර, එය නිකුත් කෙරුණේ රාත්‍රී 20:00 න් අනතුරුවයි. එහෙත් ඒ වන විටත් මිනිසුන් දුසිම් ගණනක් මිය ගොස් තිබුණා.
ඒ අනුව මාරාන්තික ගංවතුර කළමනාකරණය සම්බන්ධයෙන් කොන්සර්වේටිව් ජනතා පක්ෂයේ (PP) මාසෝන් ඉල්ලා අස්විය යුතු බවට වැලෙන්සියාවේ බහුතර ජනතා මත විමසුම්වලදී ඉල්ලා ඇත.
එමෙන්ම ඔහුගේ ඉල්ලා අස්වීම ඉල්ලා අඛණ්ඩ විරෝධතා පැවැත්වූ අතර, මෑතකදී ඔක්තෝබර් 25 වන දින පමණ 50,000 ක් පමණ ජනතාව වැලෙන්සියා වීදිවලට රැස් විය.
මේ අතර පසුගිය සතියේ ඛේදවාචකයේ පළමු සංවත්සරයේදී වින්දිතයන් සිහි කිරීමේ උත්සවයට ඔහු සහභාගී වීම, මියගිය අයගේ ඥාතීන් තව දුරටත් කෝපයට පත් කර තිබුණා.
එහිදී ඔවුන් උත්සවය අතරතුරදීත් ඔහුට විරෝධතා පළකළ බව සඳහන්.
ඒ අනුව මාසෝන්ගේ ඉල්ලා අස්වීමේ තීරණයට මෙම අත්දැකීම හේතු වූ බව පෙනෙන්නට ඇත. එසේම ගංවතුර ඇති වූ දිනයේ ඔහු සමඟ දිවා ආහාරය ගත් මාධ්‍යවේදිනී මැරිබෙල් විලාප්ලානා, ආපදා කළමනාකරණ නොසැලකිලිමත්කම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අඳාළව විනිසුරුවරයෙකු ඉදිරියේ සාක්ෂි දුන් දිනයේදීම මාසොන් ඉල්ලා අස්වීම ද කැපී පෙනෙන පුවතක් විය.
විලාප්ලානා විනිසුරුවරයාට කියා ඇත්තේ මාසෝන් "නිරතුරුවම තම දුරකථනයෙන් කෙටි පණිවිඩ යවමින් සිටි" බවත් එක් අවස්ථාවකදී ඔහුට "ඇමතුම් රාශියක්" ලැබුණු බවත් ය.
ඒ අනුව සිය තීරණය නිවේදනය කරමින් මාසෝන් කියා සිටියේ, "මට තවදුරටත් මෙහෙම යන්න බෑ... මා කළේ වරදක් බව මම දන්නවා. මම එය පිළිගන්නා අතර මගේ ජීවිත කාලය පුරාම ඒ වෙනුවෙන් කණගාටු වෙනවා" යනුවෙන්.
තවද ඔහු කියා සිටියේ, එදින අර්බුදයේ වගකීම භාර ගැනීම සඳහා සිය කාලසටහන අවලංගු කළ යුතු බවයි. එහෙත් මෙම වැරදි කිසිවක් "දේශපාලන ගණනය කිරීම් හෝ වැරදි විශ්වාසය" නිසා සිදු වූ ඒවා නොවන බව ඔහු අවධාරණය කර ඇත.
කෙසේ වෙතත් මාසෝන් ඉල්ලා අස්වුවද, ඔහු කලාපීය පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකු වශයෙන් දිගටම කටයුතු කරන බව සඳහන්.