'AI සන්ධානයේදී චීනය සමඟත් ඇමරිකාව සමඟත් එකවර යන්න බැහැ - “එක් පැත්තක් තෝරන්න” ඇමරිකාවෙන් රටවලට දැඩි පණිවුඩයක්
කෘතිම බුද්ධි (AI) තාක්ෂණයේ ගෝලීය නායකත්වය සඳහා ඇමරිකාව සහ චීනය අතර පවතින තරගය තීරණාත්මක අවධියකට පැමිණීමත් සමඟ, රටවල් තමන් සමඟ හෝ චීනය සමඟ සහයෝගීතාව තෝරාගත යුතු බවට ඇමරිකාව දැනුම්දීමට සූදානම් වන බව වාර්තා වේ.
රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇති පරිදි, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සකස් කළ අභ්‍යන්තර ලිපි කෙටුම්පතක සඳහන් වන්නේ ඇමරිකාව ප්‍රමුඛ AI සහයෝගීතා රාමුවකට එක්වන රටවල් චීනය විසින් ඉදිරිපත් කරන තරගකාරී වැඩපිළිවෙළකටද එක්වන්නේ නම්, ඇමරිකානු සන්ධානයෙන් ඉවත් කිරීමට ඉඩ ඇති බවයි.
AI තාක්ෂණය, අර්ධ සන්නායක සහ අත්‍යවශ්‍ය ඛනිජ ඇතුළු උපායමාර්ගික සැපයුම් දාම සුරක්ෂිත කිරීමේ අරමුණින් ඇමරිකාව පසුගිය වසරේ Pax Silica වැඩසටහන ආරම්භ කළේය.
මේ වනවිට රටවල් 20කට වැඩි සංඛ්‍යාවක් ඊට එක්ව ඇති අතර, ජපානය, ඕස්ට්‍රේලියාව සහ දකුණු කොරියාව වැනි ඇමරිකාවේ සමීප හවුල්කරුවන් මෙන්ම මධ්‍යම ආසියාවේ කසකස්තානයද ඒ අතර වේ.
කෙසේ වෙතත්, කසකස්තානය චීනයේ AI සහයෝගීතා වැඩසටහනකටද සම්බන්ධ වී ඇති බව හෙළිවීම ඇමරිකානු පාර්ශ්වයේ අවධානයට ලක්ව තිබේ. “දෙපැත්තම එකවර තෝරාගත නොහැකියි” ජුනි මාසයේදී ඇමරිකාව සමඟ AI සහයෝගීතාව සඳහා රටවල් 35ක් අත්සන් කළ “AI Opportunity Statement” වැඩසටහනට යොමු කර ඇති බව පැවසෙන ලිපියේ, රටවල් තම තීරණය පැහැදිලිව ගත යුතු බව අවධාරණය කර ඇත.
එම කෙටුම්පතේ සඳහන් වන පරිදි, ඇමරිකාව ප්‍රමුඛ තාක්ෂණික පරිසර පද්ධතියක විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස කටයුතු කරන අතරතුර, ඊට ප්‍රතිවිරුද්ධ අරමුණු සහිත වෙනත් වැඩසටහන්වලටද සම්බන්ධ වීම පිළිබඳව ගැටලු පවතී.
ඇමරිකානු නිලධාරියෙකු රොයිටර් වෙත පවසා ඇත්තේ රටකට “දෙපැත්තම එකවර තෝරාගත නොහැකි” බව පැහැදිලි කිරීම මෙම ලිපියේ අරමුණක් බවයි. චීනයෙන්ද විකල්ප AI සන්ධානයක් මේ අතර, චීන ජනාධිපති ෂී ජින්පිං ජූලි මාසයේදී World Artificial Intelligence Cooperation Organization නමින් නව ජාත්‍යන්තර AI සහයෝගීතා සංවිධානයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.