කුරුවිට, පල්ලන්සේන සහ නව මැගසින් බන්ධනාගාර ගැටුමට මුල් වූ මහ මොළකරුවන් හදුනාගනියි
පසුගිය දිනවල නොසන්සුන්කාරී තත්ත්වයන් වාර්තා වූ කුරුවිට, පල්ලන්සේන සහ නව මැගසින් යන බන්ධනාගාර තුළ ගැටුම්කාරී තත්ත්වයන් නිර්මාණය කිරීමට මුල් වූ රැඳවි කණ්ඩායම් හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි.
එම කණ්ඩායම් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීම ඇතුළු ඉදිරි නීතිමය හා පාලන පියවර ගැනීමට කටයුතු යොදමින් සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෙම බන්ධනාගාර තුන තුළ ඊයේ (07) සහ පෙරේදා (06) යන දිනවල ඇති වූ උණුසුම් තත්ත්වයන් සහ ගැටුම් හේතුවෙන් රැඳවියන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් රැඳවියන් 54 දෙනෙකු තුවාල ලබා තිබේ.
අදාළ නොසන්සුන්තාව අතරතුරදී මියගිය රැඳවියන් දෙදෙනෙකුගේ සිරුරුවල වෙඩි වැදීමෙන් සිදු වූ තුවාල සටහන්ව ඇති බව ද පොලීසිය තහවුරු කළේය.
මේ වන විට එම බන්ධනාගාරවල අමුත්තන් සුවදුක් බැලීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇත.
මේ අතර, කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් විසින් ඊයේ (07) ඇති කළ නොසන්සුන්තාව අතරතුර සිරමැදිරිවල වහල කඩා දමා විනාශ කිරීම හේතුවෙන් මේ වන විට දැඩි ප්‍රායෝගික ගැටලුවක් මතුව තිබේ.
රත්නපුර ප්‍රදේශයට නිතර වැසි පතිත වීම හේතුවෙන් වහල හානි වූ සිරමැදිරි තුළ රැඳවියන් තැන්පත් කර තැබීමට නොහැකි වී ඇත.
ඒ අනුව අද (08) දිනයේදීත් රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියගේ මැදිහත්වීමෙන් එම තත්ත්වය පිළිබඳව ක්ෂේත්‍ර නිරීක්ෂණයක් සිදු කර බන්ධනාගාර පරිශ්‍රයේ ආරක්ෂාව තවදුරටත් තර කිරීමට පියවර ගෙන තිබේ.