උග්‍ර ගැටලු හේතුවෙන් වෛද්‍යවරුන් දැඩි අපහසුතාවයක - විශේෂ අනාවරණයක් එළියට
නවාතැන් පහසුකම් පිළිබඳ පවතින උග්‍ර ගැටලු හේතුවෙන් වෛද්‍යවරුන් පනහකට වැඩි පිරිසක් රාත්‍රී කාලයේදී සිය පෞද්ගලික වාහන තුළ නිදාගැනීමට පෙළඹී ඇති බවට තොරතුරු වාර්තා වන බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසා සිටියේ ඇතැම් වෛද්‍යවරුන් මෙලෙස කටයුතු කරන බවට තමාට ද තොරතුරු වාර්තා වී ඇති බවත්, එය ඉතා කනගාටුදායක තත්ත්වයක් බවත්ය.
වෛද්‍යවරුන් මුහුණ දෙන නේවාසිකාගාර සහ ප්‍රවාහන ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදීමට රජය ප්‍රමුඛත්වය දී විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේය.
එමෙන්ම වෛද්‍යවරුන්ගේ පහසුකම් ඉහළ නැංවීම සඳහා ලැබී ඇති යෝජනා කිහිපයක් පිළිබඳව මේ දිනවල අධ්‍යයනය කරමින් පවතින බවත්, සියලුම වෛද්‍යවරුන්ට මෙරට තුළ ගෞරවාන්විතව සේවය කිරීමට සුදුසු යහපත් පරිසරයක් නිර්මාණය කිරීම රජයේ ප්‍රධාන අපේක්ෂාව බවත් හංසක විජේමුණි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව පසුගිය වසර පහක කාලය තුළ විශේෂඥ වෛද්‍යවරුන් 3,791 දෙනෙකු මෙරටින් පිටව ගොස් ඇති බව අනාවරණය වේ. මෙයට අමතරව තවත් වෛද්‍යවරුන් 1,491 දෙනෙකු වැටුප් රහිත නිවාඩු ලබාගෙන විදේශගතව හෝ සේවයෙන් බැහැරව සිටින බව ද සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පෙන්වා දෙයි.