දිල්ලි වැස්ස මැද 18 හැවිරිදි තරුණයෙකු අතුරුදන් - සැඩ පහරට හසුව විවෘත කාණුවකට වැටෙයි
ඉන්දියාවේ දිල්ලි නුවරට සහ ජාතික අගනුවර කලාපයට සිකුරාදා ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර තත්ත්වයක් අතරතුර, රැකියාව නිමවා නිවස බලා යමින් සිටි 18 හැවිරිදි තරුණයෙකු විවෘත කාණුවකට වැටී සැඩ පහරට හසුවීමෙන් අතුරුදන්ව තිබේ. අන්කිට් නමැති මෙම තරුණයා නෝයිඩා ප්‍රදේශයේ සමාගමක සේවය අවසන් කර දකුණු නැගෙනහිර දිල්ලි ප්‍රදේශයේ පිහිටි සිය නිවස බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණපා තිබේ.
සිද්ධිය සිකුරාදා රාත්‍රී 8.00ට පමණ සරිතා විහාර් පොලිස් බලප්‍රදේශයට අයත් ප්‍රියංකා කෑම්ප් ප්‍රදේශයේදී සිදුව ඇති බව වාර්තා වේ. පවුලේ සාමාජිකයන් සහ ප්‍රදේශවාසීන් පවසන පරිදි, අන්කිට් පාලමක් ආසන්නයේ පිහිටි විවෘත කාණුවක් අසලින් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත.
සාමාන්‍යයෙන් එම කාණුවේ ජල මට්ටම එතරම් ඉහළ නොවුණද, එදින ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් එහි ජලය වේගයෙන් ගලා ගොස් තිබේ. සිද්ධිය ඇසින් දුටුවන් සඳහන් කර ඇත්තේ, පාලම අසලින් ගමන් කිරීමට උත්සාහ නොකරන ලෙස කිහිපදෙනෙකුම අන්කිට්ට අනතුරු ඇඟවූ බවයි.
කෙසේ වෙතත්, නිවසට ඉක්මනින් ළඟාවීමේ අරමුණින් ඔහු පාලමේ පැත්තකින් පැන අනෙක් පසට යාමට උත්සාහ කර තිබේ. එම අවස්ථාවේදී ඔහුගේ පාදය ලිස්සා ගොස් විවෘත කාණුවට වැටී ඇති අතර, අධික වේගයෙන් ගලා ගිය ජල පහරට හසුවීමෙන් මොහොතක් ඇතුළත ඔහු දියේ ගසාගෙන ගොස් තිබේ.
සෙවීම් මෙහෙයුම් අඛණ්ඩව
අන්කිට්ගේ පියා වන සුනිල් මහතා පවසන්නේ සිද්ධිය පිළිබඳ තොරතුරු ලැබුණු වහාම පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම් දුන් බවයි. පොලිස් නිලධාරීන් සහ කිමිදුම්කරුවන් සිකුරාදා රාත්‍රියේම සිද්ධිය වූ ස්ථානයට පැමිණ සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබුණද, අඳුර හේතුවෙන් එම මෙහෙයුම් තාවකාලිකව නතර කිරීමට සිදුව තිබේ.
පසුදින උදෑසන සෝදිසි මෙහෙයුම් යළි ආරම්භ කර ඇති අතර, ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ (NDRF) නිලධාරීන් සහ කිමිදුම්කරුවන්ද ඒ සඳහා එක්ව සිටිති. කෙසේ වෙතත්, වාර්තා වන අවස්ථාව වන විටත් අන්කිට් පිළිබඳ කිසිදු තොරතුරක් සොයාගෙන නොමැත.
තම පුත්‍රයා සොයා ගැනීම සඳහා සෝදිසි මෙහෙයුම් තවදුරටත් පුළුල් කරන ලෙස ඔහුගේ පියා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. අන්කිට් නෝයිඩා හි සෙක්ටර් 62 ප්‍රදේශයේ ආයතනයක ආහාරපාන අංශයේ සේවකයෙකු ලෙස සේවය කර ඇති බවද පවුලේ සාමාජිකයන් සඳහන් කර තිබේ.
විවෘත කාණු පිළිබඳ ආරක්ෂක ගැටලු මෙම සිදුවීමත් සමඟ ප්‍රදේශයේ විවෘත කාණු සම්බන්ධයෙන් පවතින ආරක්ෂක ගැටලු පිළිබඳවද යළි අවධානය යොමුව තිබේ. ප්‍රදේශයේ උප ප්‍රධානියෙකු වන භගවාන් ජා පවසන්නේ, විවෘත කාණුව සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුවත් කර තිබුණද, ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් පියවරක් ගෙන නොතිබූ බවයි.
සිද්ධිය සිදුවන අවස්ථාවේ තමන් එම ස්ථානයේ සිටි බව සඳහන් කළ ඔහු, වේගයෙන් ගලා ගිය ජලයට අන්කිට් හසුවීමෙන් පසුව ඔහුට උපකාර කිරීමට කිසිවෙකුට හැකියාවක් නොතිබූ බවද පවසා තිබේ.
දිල්ලි නගරය පුරා දැඩි වර්ෂාවෙන් බලපෑම් මෙම අනතුර සිදුව ඇත්තේ දිල්ලි සහ ජාතික අගනුවර කලාපය පුරා දැඩි වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී, මාර්ග තදබදය සහ හදිසි ආපදා තත්ත්වයන් මතුව තිබූ අවස්ථාවකදීය.
මාර්ක් සකර්බර්ග් ඇතුළු මෙටා සමාගම මෝදිගෙන් සමාව ඉල්ලයි - ලොවම පුදුම කරමින් සියල්ල දණ ගැස්සූ හේතුව මෙන්න
දකුණු දිල්ලි ප්‍රදේශයේ එම්බී මාර්ගයේ ගුවන් හමුදා කඳවුර ආසන්නයේ ජල මට්ටම අඩි හතරකට ආසන්නව ඉහළ ගොස් තිබූ බව වාර්තා වන අතර, එහිදී වාහන රැසක් ජලයෙන් යටවී ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබේ.
ඔක්ලා මෝර්, ඛාන්පූර්, දේඔලි, අම්බේඩ්කාර් නගර් සහ සංගම් විහාර් ඇතුළු ප්‍රදේශ රැසකද දැඩි ජල ගැලීම් වාර්තා වී තිබේ. ජලයෙන් යට වූ මාර්ගවලට ඇතුළු වූ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ කිහිපයක් අතරමඟ නතර වී ඇති අතර, ජලයෙන් යට වූ ඇතැම් ප්‍රදේශවල ජනතාවට ගමන් කිරීමට ගුවන් හමුදා ට්‍රක් රථද යොදාගෙන ඇති බව වාර්තා වේ.
ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ සිකුරාදා මධ්‍යම මට්ටමේ සිට දැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කළ බවත්, සෙනසුරාදා සිට වර්ෂාපතනය අඩුවීමට ඉඩ ඇති බවත්ය. ඉදිරි දින දෙක තුළ සුළු වර්ෂාපතනයක් පමණක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබේ.