දිවයිනේ සියලුම විශ්ව විද්‍යාලවල බරපතළ ගැටලුවක් - හැකි ඉක්මනින් විසඳන මෙන් උපකුලපතිවරුන්ට උපදෙස්
විශ්ව විද්‍යාලවල අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයන්හි සාමාජිකයන්ගේ පුරප්පාඩු සාකච්ඡා කිරීමට දිවයිනේ සියලුම විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව හමුවට කැඳවා සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව විශ්ව විද්‍යාලවල අධ්‍යයන සහ අනධ්‍යයන අංශවල දෙදහසකට වැඩි පිරිසකගේ පුරප්පාඩු පැවතීමෙන් ඒවායේ කටයුතුවලට දැඩි බාධා මතුව ඇති බව වාර්තා වී ඇත.
එසේම විශ්ව විද්‍යාලවල අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලවල පුරප්පාඩු හැකි ඉක්මනින්ම පුරවන මෙන් සියලුම විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන්ට උපදෙස් දුන් බවද සෙනවිරත්න මහතා සඳහන් කරයි.
ඔහු පැවසුවේ විශ්ව විද්‍යාලවල අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල වෙනුවෙන් 2018 වසරේ සිට බඳවා ගැනීම් නතර කර තිබීම නිසා මෙම පුරප්පාඩු ඇතිවූ බවයි.
මේ අතර සියලුම විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන්ගේ පුරප්පාඩු පැවතියද වැඩිම හිඟයක් ඇත්තේ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ බව සඳහන්.
එම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන්ගේ දැඩි හිඟයක් පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.
ඊට අමතරව සබරගමුව විශ්ව විද්‍යාලයේ සියලුම පීඨයන්හි ආචාර්යවරුන්ගේ ලොකු හිඟයක් පවතින බවද අමාත්‍යාංශය හෙළි කර තිබෙනවා.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පවතින විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන සංඛ්‍යාව 17ක් වේ.
එසේම සරසවි ආචාර්යවරුන් දෙදහසකට වැඩි පිරිසක් ඉකුත් කාල සීමාවේදී රට අතහැර ගොස් ඇති බව සඳහන්.