රුපියල් මිලියන 12ක කුලී පොල්ලක් - දූෂිත නිලධාරීන් සහ පාතාලය එකතු වී කළ මහා අපරාධය කෝප් කමිටුවෙන් කොටුකර ගනී
දේශපාලන බලපෑම්, පාතාල තර්ජන සහ ඇතැම් දූෂිත නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාප හේතුවෙන් පසුගිය සමයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට විශාල මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) දී අනාවරණය වී තිබේ.
කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි කඩකාමරවල බදු ගිවිසුම් යාවත්කාලීන නොකිරීම සහ වාහන නැවැත්වීමේ අංගනවල ආදායම් රැස්කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් COPE කමිටුව හමුවට කැඳවා තිබූ අතර, එහිදී මෙම තොරතුරු අනාවරණය විය.
COPE කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා සඳහන් කළේ, මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි කඩ සාප්පු 113ක් පසුගිය දෙසැම්බර් 31 වනවිට රුපියල් මිලියන 12කට අධික හිඟ කුලී මුදලක් ගෙවා නොතිබූ බවයි.
එමෙන්ම කඩකාමර දෙකක් රුපියල් 100ටත් අඩු මාසික කුලියකට ලබා දී තිබූ අතර, තවත් කඩකාමර 37ක් රුපියල් 100ත් 1,000ත් අතර කුලියකට ලබා දී ඇති බවද ඔහු අනාවරණය කළේය.
තවත් කඩකාමර 38ක් රුපියල් 1,000ත් 5,000ත් අතර කුලියකට ලබා දී ඇති අතර, ඉන් කඩකාමර 52ක බදු ගිවිසුම් කාලය අවසන් වී වසර එකේ සිට වසර 35ක් දක්වා ගත වී තිබියදීත් ඒවා යාවත්කාලීන කර නොමැති බවද හෙළි විය.
ඊට පිළිතුරු දුන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සහකාර සාමාන්‍යාධිකාරී අජිත් නන්දන කුමාර මහතා සඳහන් කළේ, අදාළ කඩකාමරවල කුලීකරුවන් 1980 දශකයේ සිට ගිවිසුම්ගත වූ පිරිසක් බවයි.
එමෙන්ම අදාළ බදු ගිවිසුම් වහාම සංශෝධනය කර යාවත්කාලීන කිරීමට උපදෙස් ලබා දී ඇති බවද ඔහු පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා සඳහන් කළේ, "නිවාස අධිකාරිය වසරේ දින 365ම කරලා තියෙන්නේ ඉඩම් දන්සලක්. මෙය මහා අපරාධයක්," යනුවෙනි.
මේ අතර, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික අනුරාධ කිරලවැල්ල මහතා පැවසුවේ, මෙම තත්ත්වයට නිලධාරීන් පමණක් වගකිව යුතු නොවන බවයි.
බදු ගිවිසුම් යාවත්කාලීන නොවීමට ප්‍රධාන වශයෙන් දේශපාලන බලපෑම්, පාතාල කල්ලිවල තර්ජන සහ ඇතැම් දූෂිත නිලධාරීන්ගේ ක්‍රියාකලාප හේතු වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
වංචනික ලෙස කටයුතු කළ ඇතැම් නිලධාරීන්ගේ සේවය මේ වන විටත් තහනම් කිරීමට පියවර ගෙන ඇති බවද අනුරාධ කිරලවැල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.