රටම කැළඹූ වනාතවිල්ලුව පුපුරණ ද්රව්ය නඩුවේ තීන්දුවක් - ගෆූර් මාමාට වසර 12ක සිරදඬුවම්
වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්රදේශයේ ඉඩමක පුපුරණ ද්රව්ය ඇතුළු තහනම් ද්රව්ය රැස් කිරීම සම්බන්ධ නඩුවේ තුන්වන විත්තිකරු වන මොහොමඩ් ෂරීෆ් ආදම් ලෙබ්බේ හෙවත් ‘ගෆූර් මාමා’ නමැත්තාට වසර 12ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබේ.
අද (28) කොළඹ විශේෂ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ තමන්ට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා පහකට වරද පිළිගැනීමෙන් අනතුරුව මෙම දඬුවම නියම කර ඇත.
ලාල් රණසිංහ බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ නයෝමි වික්රමසිංහ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් එක් එක් චෝදනාවට වසර 12 බැගින් සිරදඬුවම් නියම කර තිබේ. එම දඬුවම් එකවර ක්රියාත්මක වන ලෙස නියෝග කිරීම හේතුවෙන් ගෙවිය යුතු සමස්ත සිරදඬුවම් කාලය වසර 12කි.
කෙසේ වෙතත්, විත්තිකරු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සහ රැඳවුම් නියෝග යටතේ ගත කර ඇති වසර හතහමාරක කාලය සිරදඬුවමෙන් අඩු කිරීමට ද අධිකරණය නියෝග කර ඇත.
ඒ අනුව, ඔහුට තවත් වසර හතරහමාරක පමණ කාලයක් සිරදඬුවම් විඳීමට සිදුවනු ඇතැයි අධිකරණයේදී සඳහන් විය.
විත්තිකරු වරද පිළිගෙන නඩු විභාගය තවදුරටත් දීර්ඝ නොකිරීම, ඔහු 63 හැවිරිදි වියේ පසුවීම සහ අනෙකුත් සුවිශේෂී කරුණු සැලකිල්ලට ගනිමින් මෙම දඬුවම නියම කළ බව විනිසුරු මඩුල්ල සඳහන් කළේය.
සාජිත් මවුලවීගේ ස්ථාවරය හෙට දැනුම් දීමට නියමිතයි
මේ අතර, නඩුවේ හයවන විත්තිකරු වන මොහොමඩ් රමීස් මොහොමඩ් සාජිත් හෙවත් ‘සාජිත් මවුලවී’ නමැත්තා ද තමන්ට එරෙහි චෝදනාවලට වරද පිළිගන්නේද යන්න පිළිබඳ ස්ථාවරය දැනුම් දීමට කාලය ඉල්ලා තිබේ.
ඒ අනුව, ඔහුගේ ස්ථාවරය දැනගැනීම සඳහා නඩුව හෙට (29) පෙරවරු 8ට යළි කැඳවීමට නියම කර ඇත.
එදින පෙරවරු 7.45 වන විට ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර තිබේ.
ගෆූර් මාමාට එරෙහිව කෑගල්ල සහ මඩකළපුව මහාධිකරණවල තවත් නඩු දෙකක් පවතින බැවින්, එම අධිකරණ වෙත ඉදිරිපත් කිරීමේදී ඔහුට විශේෂ ආරක්ෂාවක් සපයන ලෙස ද විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.
මෙම නඩුවේදී විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව අධිචෝදනා 13ක් යටතේ නීතිපතිවරයා නඩු පවරා තිබූ අතර, මේ වන විට විත්තිකරුවන් පස්දෙනෙකු අදාළ චෝදනාවලට වරද පිළිගෙන දඬුවම් ලබා ඇති බව අධිකරණයේදී සඳහන් විය.