අද සිට අනිද්දා දක්වා සියලුම රාජ්‍ය සේවකයින්ට විශේෂ වෙයි - ලොව පුරා රාජ්‍ය සේවකයින්ට උත්සව
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මඟින් 2002 දෙසැම්බර් 20 වන දින සම්මත කරගන්නා ලද 57/277 දරන යෝජනාවට අනුව, සෑම වසරකම ජූනි 23 වන දිනය එක්සත් ජාතීන්ගේ රාජ්‍ය සේවා දිනය සේ ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව සමාජය වෙනුවෙන් ඉටුකරනු ලබන රාජ්‍ය සේවයේ වටිනාකම සහ එහි ඇති උදාරත්වය ඇගයීමට ලක් කිරීම අරමුණින් 2003 වසරේදී මෙම දිනය ප්‍රථම වරට සමරා ඇත.
එහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ රාජ්‍ය සේවකයන්ගේ කැපවීම අගය කිරීමට මෙන්ම සමස්ත සංවර්ධන ක්‍රියාවලිය සඳහා ඔවුන් දක්වන දායකත්වය කැපී පෙනෙන ලෙස ඉස්මතු කිරීමටත්, තරුණ පරපුර රාජ්‍ය අංශයේ වෘත්තීන් වෙත යොමු කරවීම සහ ඔවුන්ව දිරිමත් කිරීමත් ය.
එමෙන්ම මෙම සුවිශේෂී දිනය සැමරීම ඇරඹුණේ 1978 වසරේදී ජාත්‍යන්තර කම්කරු සංවිධානය මඟින් ඇති කරගන්නා ලද රාජ්‍ය සේවා කම්කරු සබඳතා සම්මුතියේ සංවත්සරය සලකුණු කරමින්.
ඊට සමගාමීව එක්සත් ජාතීන්ගේ රාජ්‍ය සේවා සම්මාන වැඩසටහනද (UNPSA) ඇරඹීය. එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජයීය කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ (UN DESA) රාජ්‍ය ආයතන සහ ඩිජිටල් රජය පිළිබඳ අංශය (DPIDG) මඟින් මෙහෙයවනු ලබන මෙම සම්මාන උළෙල මඟින් ලොව පුරා පවතින රාජ්‍ය සේවා ආයතනවල නවෝත්පාදන සහ විශිෂ්ටතා ඇගයීමට ලක් කරයි.
මෙම 2026 වසරේ එක්සත් ජාතීන්ගේ රාජ්‍ය සේවා සංසදය සහ සම්මාන උළෙල ජූනි 23 සිට 25 දක්වා ජෝර්ජියාවේ තිබිලිසි නුවරදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
"රාජ්‍ය ආයතන පරිවර්තනය කිරීම: නවෝත්පාදනය, සහභාගීත්වය සහ ඇතුළත් කිරීම් ප්‍රවර්ධනය කිරීම" යන්න මෙවර එහි තේමාව වී ඇත.
මේ අතර ජෝර්ජියාවේ අධිකරණ අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ අදාළ අංශ ඒකාබද්ධව සංවිධානය කරන මෙම සමුළුවට විවිධ රටවල අමාත්‍යවරුන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ විශේෂඥයින් 800 ත් 1000 ත් අතර පිරිසක් සහභාගී වීමට නියමිත අතර මෙහිදී ධාරිතා සංවර්ධනය, නවෝත්පාදන සහ තිරසාර සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවධානය යොමු කෙරෙන වැඩමුළු සහ අමාත්‍ය මට්ටමේ වටමේස සාකච්ඡා පැවැත් වීමට නියමිතයි.
එමෙන්ම වගකීම් සහගත පාලනයක් උදෙසා ක්‍රියා කළ විශිෂ්ටතම රාජ්‍ය සේවා මුලපිරීම් සඳහා වන 2026 සම්මානලාභීන් ප්‍රකාශයට පත් කිරීමද සිදු කරයි.
කෙසේ වෙතත් ලොව පුරා මෙම දිනය සැමරීමට විවිධ වැඩමුළු, රාජ්‍ය සංසද, තොරතුරු කුටි පැවැත්වීම, ප්‍රජා සේවා ක්‍රියාකාරකම් සහ රාජ්‍ය සේවයේ කාර්යභාරය පැහැදිලි කරන අධ්‍යාපනික වැඩසටහන් සංවිධානය කරන අතර එක්සත් ජාතීන්ගේ සාමාජික රටක් වශයෙන් ශ්‍රී ලංකාවද මෙම ගෝලීය සැමරුම් සඳහා සක්‍රීයව දායක වේ.
ඒ අනුව ජාතික සංවර්ධන ඉලක්කයන්ට අනුකූලව මෙරට රාජ්‍ය දෙපාර්තමේන්තු සහ සිවිල් සේවකයන් ඇගයීම මෙන්ම රාජ්‍ය සේවය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් දේශීය වශයෙන් සංවිධානය කරයි.
මේ අතර 2026 වර්ෂයට අදාළ නිල උත්සව සහ තොරතුරු රාජ්‍ය සේවා දෙපාර්තමේන්තුව හෝ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිල නාලිකා ඔස්සේ මහජනතාවට ලබාගත හැකි බව සඳහන්.