රුසියාවට දරුණු ප්‍රහාරයක් - විශාලතම අන්තර්ජාල සිල්ලර වෙළඳ සමාගමේ ගබඩා දෙකක් විනාශයි
රුසියාවේ විශාලතම අන්තර්ජාල සිල්ලර වෙළඳ සමාගම ලෙස සැලකෙන 'Wildberries' ආයතනයට අයත් ප්‍රධාන ගබඩා සංකීර්ණ දෙකක් ඉලක්ක කර ගනිමින් යුක්‍රේනය විසින් එල්ල කරන ලද දරුණු ඩ්‍රෝන ප්‍රහාර මාලාවකින් පුද්ගලයන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ප්‍රහාර හේතුවෙන් තවත් පුද්ගලයන් 62 දෙනෙකු විවිධ මට්ටමේ බරපතළ තුවාල ලබා ඇති බව රුසියානු ආරක්ෂක අංශ සහ සහන සේවා නිලධාරීන් තහවුරු කරයි.
රුසියාව තුළ සිවිල් සහ ආර්ථික යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් යුක්‍රේන හමුදාව මෑතකදී දියත් කළ ප්‍රධානතම ප්‍රහාරයක් ලෙස මෙය වාර්තා වේ.
ප්‍රහාරයට ලක්වූ මොස්කව් නුවරට ගිනිකොණ දෙසින් පිහිටි තම්බොව් නගරයේ වෙළඳ ගබඩාවට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් පමණක් පුද්ගලයන් 7 දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් තවත් 25 දෙනෙකු තුවාල ලබා තිබේ.'
ඊට සමගාමීව මොස්කව් කලාපයට අයත් එලෙක්ට්‍රොස්ටල් නගරයේ පිහිටි අනෙක් 'වයිල්ඩ්බෙරීස්' ගබඩා පරිශ්‍රයට එල්ල වූ ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 37 දෙනෙකු තුවාල ලබා ඇත.
ප්‍රහාරය හේතුවෙන් අදාළ ගබඩා පරිශ්‍රයන්හි දැඩි දේපළ හානියක් සහ ගිනිගැනීම් සිදුව ඇති අතර, තුවාල ලැබූවන් කඩිනමින් රෝහල්ගත කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.