ලෝක තෙල් වෙළදපොල උඩුයටිකුරු වෙයි - එක්සත් අරාබි එමීර් රාජ්‍යය OPEC සංවිධානයෙන් ඉවත් වීමට තීරණය

Report

ලෝක බලශක්ති වෙළෙඳපොළේ ප්‍රධාන පාර්ශවකරුවෙකු වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය , ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානය වන OPEC සහ OPEC+ සන්ධානයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව අද (28) නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. මෙම තීරණය එළැඹෙන මැයි පළමුවනදා සිට ක්‍රියාත්මක වීමට නියමිත බව සඳහන් වේ.

තම රටේ දිගුකාලීන උපායමාර්ගික සහ ආර්ථික දැක්ම මෙන්ම, දේශීය බලශක්ති නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගත් බව එමීර් රාජ්‍යය පවසයි. රටේ වර්තමාන සහ අනාගත නිෂ්පාදන ධාරිතාව පිළිබඳ පුළුල් සමාලෝචනයකින් පසු මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය 1967 වසරේදී ඔපෙක් සංවිධානය සමඟ එක් වූ අතර, දශක පහකට වැඩි කාලයක් ලෝක තෙල් වෙළෙඳපොළේ ස්ථාවරත්වය වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ බව සඳහන් වේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යය අවධාරණය කරන්නේ සංවිධානයෙන් ඉවත් වූවද, තමන් වගකීම් සහගත බලශක්ති හවුල්කරුවෙකු ලෙස දිගටම කටයුතු කරන බවය.

"මෙම තීරණය මගින් ලෝක වෙළෙඳපොළේ ස්ථාවරත්වය වෙනුවෙන් අප දක්වන කැපවීම වෙනස් නොවේ. අප සිදු කරන්නේ වෙළෙඳපොළේ නැගී එන අවශ්‍යතාවලට වඩාත් හොඳින් ප්‍රතිචාර දැක්වීමට අපට ඇති හැකියාව ශක්තිමත් කර ගැනීමයි." යනුවෙන් එමීර් රාජ්‍යය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. මීට අමතරව, අනාගත නිෂ්පාදන ධාරිතාව වෙළඳපොළ ඉල්ලුමට අනුකූලව ක්‍රමවත්ව සහ මැනවින් කළමනාකරණය කරන බව ද ඔවුන් සහතික වී ඇත.

ලෝක තෙල් වෙළදපොල උඩුයටිකුරු වෙයි - එක්සත් අරාබි එමීර් රාජ්‍යය OPEC සංවිධානයෙන් ඉවත් වීමට තීරණය | Uae To Exit Opec Alliance From May 1