ඇමරිකානු වෙළෙඳ අවශ්‍යතා වෙනුවෙන් ශ්‍රී ලංකාවට එන පිරිසගේ සංචාරයේ අරමුණ හෙළිවේ
ඇමරිකානු වෙළෙඳ අවශ්‍යතා ඉදිරියට ගෙන යාමේ අරමුණින් එක්සත් ජනපද ෆෙඩරල් මැරිටයිම් කොමිෂන් සභාවේ (FMC) සභාපති ලෝරා ඩිබෙල්ලා (Laura DiBella) සහ එහි කොමසාරිස් රොබට් ජේ. හාවි (Robert J. Harvey) ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි.
සැප්තැම්බර් 6 සිට 10 දක්වා සිදුකෙරෙන මෙම සංචාරයේ අරමුණ වන්නේ සාගරික වෙළෙඳාම, ආයෝජන සහ ඇමරිකානු ව්‍යාපාර හා පාරිභෝගිකයන් ඉන්දු-පැසිෆික් කලාපයේ වෙළෙඳපොළ සමඟ සම්බන්ධ කරන නාවික ප්‍රවාහන ජාල සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර සහයෝගීතාව ඉදිරියට ගෙන යාම බව තානාපති කාර්යාලය සඳහන් කරයි.
[
ගෑස් මිල අඩු විමත් සමඟ කිරි තේ සහ ප්ලේන් ටී මිලත් අඩු වෙයි - අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු වෙන මිල මෙන්න
ගෝලීය වෙළෙඳාම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාව වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවද ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති එරික් මේයර් (Eric Meyer) සඳහන් කළේ, කොළඹ වරාය හරහා ගමන් කරන බහාලුම්වලින් සියයට 80කට වැඩි ප්‍රමාණයක් ලෝකයේ විවිධ ගමනාන්ත වෙත තවදුරටත් ප්‍රවාහනය කෙරෙන බවයි.
එය ඉන්දියන් සාගරයේ නාවික ප්‍රවාහනයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව දරන වැදගත් භූමිකාව පැහැදිලි කරන බවද ඔහු පැවසීය. “ඩිබෙල්ලා මහත්මියගේ සංචාරය ශ්‍රී ලංකාවේ මෙම වැදගත් භූමිකාව පිළිගැනීමක් වන අතර, ඉන්දු-පැසිෆික් කලාපය හරහා මෙම අත්‍යවශ්‍ය වෙළෙඳ කටයුතු පවත්වාගෙන යන ජනතාව සහ ආයතන සමඟ අපගේ සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කිරීමට අවස්ථාවක් සලසයි,” යනුවෙන් තානාපතිවරයා සඳහන් කළේය.
ආරක්ෂිත හා කාර්යක්ෂම නාවික ප්‍රවාහනය මගින් ඇමරිකානු ව්‍යාපාර සඳහා නව අවස්ථා නිර්මාණය වන අතර, ශ්‍රී ලංකාවේ කලාපීය කේන්ද්‍රස්ථාන භූමිකාව ශක්තිමත් කිරීමටත්, දෙරටේ ආර්ථිකයන්හි සමෘද්ධියටත් එය දායක වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
සංචාරය අතරතුරදී ඩිබෙල්ලා සහ හාවි ශ්‍රී ලංකා රජයේ සහ නාවික ක්ෂේත්‍රයේ ප්‍රධානීන් හමුවීමට නියමිතය. එමෙන්ම ඩිබෙල්ලා මහත්මිය කොළඹ ජාත්‍යන්තර නාවික හා ලොජිස්ටික් සමුළුව අමතන අතර, හාවි මහතා එහි පැවැත්වෙන සාකච්ඡා මණ්ඩපයකට සහභාගී වීමට නියමිතය.
ඇමරිකානු ෆෙඩරල් මැරිටයිම් කොමිෂන් සභාව යනු ඇමරිකානු අපනයනකරුවන්, ආනයනකරුවන් සහ පාරිභෝගිකයන්ගේ ප්‍රතිලාභ වෙනුවෙන් එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සාගර ප්‍රවාහන පද්ධතිය නියාමනය කරන ස්වාධීන ෆෙඩරල් ආයතනයකි.