නීතිඥවරයකුට මරණ තර්ජනය කර වාහනයට අනර්ථයක් කළ සිදුවීමට කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට
ගංගොඩවිල අධිකරණය ආසන්නයේදී නීතිඥවරයකුට මරණ තර්ජනය කර වාහනයට අනර්ථයක් කළ බව කියන සිද්ධියට අඳාළව නුගේගොඩ කොට්ඨාස අපරාධ විර්මශන කාර්යංශය මඟින් ඊයේ (02) දින කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවට පොලිස් මූලස්ථානය ප්‍රකාශ කරයි.
ඒ අනුව අයුතු ජන රාශියක සාමාජිකයින් වී සිටිමින් අයුතු අවහිරය, සාපරාධී බියගැන්වීම සහ අනර්ථය යන චෝදනා යටතේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුහුල් වැල්වැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31ක සහ 55ක කාන්තාවන් දෙදෙනෙක් බව සඳහන්.
ඒ අනුව පොලිස් මූලස්ථානය සඳහන් කළේ නුගේගොඩ කොට්ඨාස අපරාධ විර්මශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් මඟින් මෙම සිද්ධියට සම්බන්ධ සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (02) දින රාත්‍රියේ බවයි.
එමෙන්ම සැකකාරියන් අද (03) දින ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
එසේම නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.
ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ දී පසුගිය (30) වන දින විභාග වූ නඩුවක් සඳහා පෙනී සිටි නීතිඥ මර්වින් ද සිල්වා ඇතුළු නිතීඥවරුන් දෙදෙනකු කාර් රථයකින් පිටව යන අවස්ථාවේ නුගේගොඩ ගම්සභා හන්දිය ආසන්නයේදී පිරිසක් මඟින් මාර්ගය අවහිර කර කාර් රථය වට කරමින් මරණ තර්ජන කර වාහනයට පහරදී අනර්ථයක් සිදු කරන ලද බවට මිරිහාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
ඒ අනුව අඳාළ සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය ඇතුළු පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන ආරම්භ කර ඇති අතර එහිදී එක් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බව සඳහන්.