හවායි දූපත්වලටත් සුනාමි රළ කඩා වදී - හවායි වැසියන්ට වහාම ඉවත් වෙන ලෙසට නියෝග
එක්සත් ජනපදයේ බටහිර වෙරළ තීරයට, එක්සත් ජනපද භූමි ප්‍රදේශයක් වන ගුවාම්, සහ මයික්‍රොනීසියාවේ සමහර දූපත්වලට සුනාමි තත්ත්වයක් ඇතිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
හවායි වෙරළ තීරයේ සමහර ප්‍රදේශවල මුහුදු මට්ටම අසාමාන්‍ය ලෙස පහත වැටීමට පටන් ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.
සුනාමි රළ පැමිණීමට පෙර මුහුදු ජලය මෙලෙස අඩුවීම සුනාමි තත්ත්වයක පූර්ව ලක්ෂණයක් ලෙස සැලකේ.
අදාළ ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
මේ අතර එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයෙන් ප්‍රදේශ කිහිපයකට සුනාමි රළ පැමිණීමේ වේලාවන් ප්‍රකාශයට පත්කර ඇත. ඒ ඔරිගන් සහ වොෂින්ටන් සඳහා එරට වේලාවෙන් රාත්‍රි 11.35ට, කැලිෆෝනියාවට රාත්‍රී 11.50ට පමණත් සැන්ෆැන්සිස්කෝ බොක්ක සහ ලොස් ඇන්ජලිස් වරායට අලුයම 12.40ට පමණක් සුනාමි රළ පැමිණෙනු ඇති බවට අපේක්ෂා කෙරේ.
රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපය ආසන්නයේ පැසිෆික් සාගරයේ සිදුවූ රික්ටර් මාපකයේ ඒකක 8.8ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනය හේතුවෙන් රුසියාවට සහ ජපානයට ද සුනාමි තත්ත්වයක් බලපා තිබේ. මෙය වාර්තාවන්නේ ඉතිහාසයේ හය වැනි විශාලතම භූකම්පනය ලෙසය.
කෙසේ නමුත් අවදානම් කලාපවල වාසය කළ 2,000 ඉක්මවූ පිරිසක් ඒවායින් ඉවත්කිරීමට රුසියාව ඊට පෙර පියවර ගෙන තිබුණේ බලපෑ හැකි ජීවිත හානි අවම කරගැනීමේ අපේක්ෂාවෙනි. භූකම්පනයෙන් රුසියාවේ නැගෙනහිර කලාපීය නගරවල පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වන නමුත් කිසිදු ජීවිත හානියක් මෙතෙක් වාර්තාවී නැහැ.
මේ අතර උතුරු ජපානයේ නැගෙනහිර කලාපවලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණි. ඊට සමගාමීව හොකයිඩෝ නගරය ආසන්න වෙරළ කලාපයටත් අඩියක් තරම් උසින් යුතු උදම් රළ බලපෑවේය.
පවතින අවදානම හමුවේ ජපානයේ ෆුකුෂිමා ඩයිචි සහ ෆුකුෂිමා ඩයිනි න්‍යෂ්ටික බලාගාරවල සේවකයින් වහාම ඒවායින් ඉවත් කිරීමටත් බලධාරීන් පියවර ගත්තේ 2011 ජපාන භූකම්පනයේ සහ සුනාමියෙන් උගත් පාඩම් අනුව යමිනි.
මීට අමතරව චීනයට, පේරු රාජ්‍යයට සහ ඉක්වදෝරයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, බටහිර අමෙරිකානු වෙරළතීරයට මෙන්ම අමෙරිකාවට අයත් ගුවාම් සහ මයික්‍රොනීසියා හි ඇතැම් දූපත්වලට බලපෑම් සිදුවෙතැයි අපේක්ෂිතයි. තවද පිලිපීන සහ ඉන්දුනීසියානු ජනතාවට අවදානයෙන් පසුවන්නැයි දැනුම් දී තිබේ.
