ඉරාන යුද තීන්දුවේ පැටළුනු ට්‍රම්ප් “සිය දිවි නසා ගත්තා” ද? - ඇමෙරිකාව උඩුයටිකුරු කළ සමීක්ෂණය
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව යුද ක්‍රියාමාර්ගයකට ගත් තීරණය අතිශයින්ම වැරදි බව එරට බහුතර ඡන්දදායකයින් විශ්වාස කරන බව නවතම මතවිමසුමකින් අනාවරණය වී තිබේ.
‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත හා ‘සියෙනා’ (Siena) පර්යේෂණ ආයතනය එක්ව සිදුකළ මෙම සමීක්ෂණයට අනුව, ඉදිරියේදී පැවැත්වීමට නියමිත මධ්‍යවාර මැතිවරණය ආසන්නයේම රිපබ්ලිකන් පක්ෂය දැඩි දේශපාලන අර්බුදයකට සහ ජනප්‍රියත්ව පහත වැටීමකට මුහුණ දෙමින් සිටින බවද පෙන්වා දී ඇත.
සමීක්ෂණ වාර්තාවට අනුව, ජනාධිපතිවරයාගේ මහජන ප්‍රසාද අනුපාතය 37%ක් දක්වා පහත වැටී ඇති අතර, ඉරානය සමඟ ඇති වූ යුද තත්ත්වය හේතුවෙන් උද්ගතව ඇති ආර්ථික ගැටලු පිළිබඳව ඇමෙරිකානු ජනතාව දැඩි කනස්සල්ල පළ කරති. සමීක්ෂණයට සහභාගී වූ ඡන්දදායකයින්ගෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් පවසා ඇත්තේ යුද්ධයකට අවතීර්ණ වීමට ගත් තීරණය සම්පූර්ණයෙන්ම වැරදි බවයි.
එහෙත් රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයින්ගෙන් 70%ක් පමණ එම යුද ක්‍රියාමාර්ගයට තවදුරටත් සහය පළ කරන බවද වාර්තාවේ සඳහන් වේ. මේ අතර, ඊශ්‍රායලය සහ පලස්තීන ගැටුම සම්බන්ධයෙන් ද ඇමෙරිකානු ජනතාවගේ මතභේදාත්මක ස්ථාවරයන් ඉස්මතු වී ඇති අතර, වැඩි පිරිසක් පලස්තීනුවන් කෙරෙහි වැඩි අනුකම්පාවක් දක්වන බවද සමීක්ෂණයෙන් හෙළි වී ඇත.
විශේෂයෙන්ම වයස අවුරුදු 29ට අඩු තරුණ ඡන්දදායකයින් අතර ඊශ්‍රායලයට සහය දක්වන්නේ 14%ක් පමණක් වන අතර, 64%ක බහුතරයක් පලස්තීනුවන්ට සහය පළ කරන බවද වාර්තාවේ සඳහන් වේ. ආගමන-විගමන ප්‍රතිපත්ති, ආර්ථිකය, ඉරාන අර්බුදය සහ ජීවන වියදම වැනි ප්‍රධාන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳවද ජනතාවගේ දැඩි අප්‍රසාදය පළවී ඇති බවද සමීක්ෂණය පෙන්වා දෙයි.
එමෙන්ම, ඉරානයට එරෙහි යුද ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් 56%ක පිරිසක් දැඩි ලෙස විරෝධය පළ කර ඇති අතර, බහුතර ජනතාවගේ අදහස වී ඇත්තේ කිසිදු තත්ත්වයකදීවත් ඉරානය සමඟ යුද ගැටුමකට යා යුතු නොවන බවයි.