චීන සංචාරය නිසා වාසි ගොඩක් හම්බුණා - ට්‍රම්ප්
චීනයේ සිදු කළ දෙදින නිල සංචාරය ඉතා සාර්ථක සහ ජයග්‍රහණ රැසක් අත්කරගත් එකක් වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
පසුගිය මැයි 13 වැනිදා චීනය බලා පිටත්ව ගිය ජනාධිපතිවරයා ප්‍රමුඛ දූත පිරිස, සාකච්ඡා වට රැසක් නිමවා නැවත ධවල මන්දිරය වෙත පැමිණෙමින් මෙම අදහස් පළ කර තිබේ.
චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ පැවැති මෙම හමුව සම්බන්ධයෙන් ෆොක්ස් පුවත් සේවය (Fox News) ඇතුළු විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සංචාරය සාර්ථක වුවද තායිවානය සහ වෙළෙඳ ගිවිසුම් වැනි සංවේදී කරුණුවලදී චීන ජනාධිපතිවරයාගෙන් ට්‍රම්ප් වෙත දැඩි ස්ථාවරයන් සහ උණුසුම් වචන රැසක් එල්ල වූ බවයි.
මැද පෙරදිග කලාපීය යුද වාතාවරණය මධ්‍යයේ සිදුවූ මෙම සංචාරය කෙරෙහි ලෝකයේම දැඩි අවධානයක් යොමුව තිබුණේ, මැද පෙරදිග අර්බුදය නිමා කිරීම සඳහා චීනයේ සහ රුසියාවේ මැදිහත් වීම දේශපාලනික වශයෙන් ඉතා වැදගත් සාධකයක් වන බැවිනි.
යළි ඇවිළෙන යුධ ගිනි සමඟ ජාත්‍යන්තරය කැළඹෙයි - ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් හමුදා ප්‍රධානියෙක් ජීවිතක්ෂයට
මෙම රාජ්‍ය තාන්ත්‍රික හමුව සිදුවන අතරතුර, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් තවත් වැදගත් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ඊශ්‍රායලය සහ ලෙබනනය අතර පවතින සටන් විරාමය තවදුරටත් දින 45කින් දීර්ඝ කිරීමට දෙපාර්ශ්වයම එකඟ වී ඇති බවයි.
වොෂින්ටන් නුවර පැවැති සාර්ථක සාකච්ඡාවලින් පසු මෙම එකඟතාවට පැමිණ ඇති අතර, එය කලාපීය සාමය උදෙසා තැබූ තීරණාත්මක පියවරක් ලෙස විචාරකයෝ පෙන්වා දෙති.