අද දුම්රිය ධාවනය සම්බන්ධයෙන් විශේෂ පණිවුඩයක්..

Sri Lanka Railways Department of Railways Railways
By Aruna Jul 25, 2023 01:25 AM GMT
Aruna

Aruna

Report

අද උදෑසන කාර්යාල දුම්රිය හතරක් අවලංගු කළ බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා.

කෙසේවෙතත් වර්ජනය අත්හිටුවා තිබුණද අද උදෑසන වන විට දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් පවතින බවත් එය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර, සේවක හිඟයක් පවතින පසුබිමක අමතර ගමන්වාර හයක් එක් කිරීමට විරෝධය පළ කරමින් විදුලි බලවේග ධාවනාගාර දුම්රිය රියදුරන් ආරම්භ කළ වැඩ වර්ජනය ඊයේ (24) පස්වරුවේ අත්හැර දමනු ලැබුවා.

ඒ අදාළ අමතර ගමන්වාර කිහිපයක් ඉවත්කිරීමට බලධාරීන් එකඟතාව පළකිරීමෙන් පසුවයි.

ඒ අතර, ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, දුම්රිය සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමු කරන බවයි.

සේවක හිඟයක් පවතින පසුබිමක අමතර ගමන්වාර හයක් එක් කිරීමට විරෝධය පළ කරමින් විදුලි බලවේග ධාවනාගාර දුම්රිය රියදුරෝ අසනීප නිවාඩු වාර්තාකරමින් පෙරේදා රාත්‍රියේ වර්ජනයක් ආරම්භ කළා.

ඒ හේතුවෙන් පෙරේදා දිනයේ දුම්රිය ගමන් වාර 21ක් පමණ අවලංගු විය. දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉඳිපොළගේ මහතා සඳහන් කළේ, වර්ජනයේ ප්‍රතිඵලයක් ලෙස ඊයේ දහවල් 12 වනවිට දුම්රිය ගමන්වාර 35ක් පමණ අවලංගු වී තිබූ බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කොළඹ සහ යාපනය අතර දිවෙන නව දුම්රිය දෙකක් අගෝස්තු පළමු වනදා සිට ධාවනය කිරීමට නියමිත හෙයින් මීට පෙර වෙනත් ධාවනාගාරයක් යටතේ ධාවනය වූ දුම්රිය ගමන් වාර 06ක් විදුලි බලවේග ධාවනාගාරය වෙත යොමුකිරීමට සිදු වූ බවයි.

කෙසේ වෙතත් විදුලි බලවේග ධාවනාගාර දුම්රිය රියදුරන් සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවෙන් පසුව වැඩ වර්ජනය අත්හිටුවීමට වෘත්තිය සමිති තීරණය කළා.

එවන් පසුබිමක ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, දුම්රිය වෘත්තිය සංගම් මෙලෙස නොදන්වා හදිසියේ සිදු කරන වර්ජනවලින් ජනතාව අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා ගත හැකි පියවර කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමු කරන බවයි.

ReeCha