වොෂින්ටනයේ කැළඹීමක් - ට්‍රම්ප් සහ එප්ස්ටයින්ගේ පිළිකුල් සහගත පිළිමයක් මතුවේ
වොෂින්ටන් අගනුවරේ, ඩොනල්ඩ් ට්‍රම්ප් සහ දිවංගත මූල්‍ය විශේෂඥ ජෙෆ්රි එප්ස්ටයින් නිරූපිත උස 13 අඩි (මීටර් 4) දැවැන්ත පිළිරුවක් ඉදිකර තිබේ.
මෙම පිළිරුව "ද සීක්‍රට් හෑන්ඩ්ෂේක්" (The Secret Handshake) නම් නිර්නාමික කලා කණ්ඩායමක් විසින් නිර්මාණය කර ඇති අතර, රන්වන් පැහැයෙන් වර්ණාලේප කර ඇති බවට වාර්තා වේ.
මෙය, සුප්‍රසිද්ධ ‘ටයිටැනික්’ චිත්‍රපටයේ "ලෝකයේ රජවරුන්" (king of the world) ලෙස ප්‍රසිද්ධ දර්ශනය සිහිගන්නවන අයුරින් නිර්මාණය කර තිබේ. පිළිරුවේ ට්‍රම්ප් නැවේ ඉදිරිපස සිට, එප්ස්ටයින් පිටුපසින් සිටින ආකාරයෙන් නිරූපිත අතර, දෙදෙනාම වොෂින්ටන් ස්මාරකය දිස්වන දිශාවට බලා සිටියි.
එමෙන්ම පිළිරුවේ පාදමෙහි ඇති ශිලා ලේඛනය මඟින්, ඔවුන් අතර පැවති සබඳතාවය සුඛෝපභෝගී සංචාර, සාද සහ රහසිගත සිතුවම් මත පදනම් වූවක් බව දැක්වෙයි. මෙම පිළිරුව ගැන ජනතා අදහස් විවිධ වේ.

ඒ අනුව සමහරු අදහස් කරන්නේ මෙය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අගය කරන වටිනා නිර්මාණයක් බවත්, ට්‍රම්ප් සහ එප්ස්ටයින් අතර ඇති ඓතිහාසික සබඳතා පිළිබඳ මහජන අවධානය යොමු කිරීමට කදිම අවස්ථාවක් බවත්ය.
එසේම තවත් පිරිස් මෙය අශිෂ්ට සහ අප්‍රසන්න දර්ශනයක් ලෙස ප්‍රතික්ෂේප කරති. මෙම කලා කණ්ඩායම, මෙයට පෙරද ට්‍රම්ප් සහ එප්ස්ටයින් අත්වැල් බැඳ සිටින පිළිරුවක්, ජනවාරි 6 සිදුවීම් සම්බන්ධ අපහාසාත්මක නිර්මාණයක් සහ ට්‍රම්ප් විසින් එප්ස්ටයින් වෙත යැවූ උපන් දින ලිපියක පිටපතක් වැනි ආන්දෝලනාත්මක නිර්මාණ සිදු කර ඇත.