විමර්ශනයට කොකා පෙන්නලා තුසිත හල්ලොලුවත් අතුරුදන්
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ මෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ තුසිත හල්ලොලුව සහ නීතීඥ දිනේෂ් දොඩංගොඩ ගමන් කරමින් සිටි ජිප් රථයට යතුරුපැදියකින් පැමිණ වෙඩි තබා ජිප් රථයේ තිබුණු ලිපි ගොනුවක් පැහැර ගැනීමේ සිදුවීම පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාශය විමර්ශන සිදු කරයි.
ඒ අනුව මේ වනවිට එම සිද්ධිය පිළිබඳව තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වන බව සඳහන්.
එහෙත් කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කරන්නේ ඔහු උන්හිටිතැන්වලිනුත් අතුරුදන්ව ඇති බවයි.
එසේම තුසිත හල්ලොලුව පදිංචිව සිටින නිවසට ද කොළඹ අපරාධ කොට්ඨාශයේ කණ්ඩායමක් ගොස් තිබෙනවා.
එසේ වුවත් එම නිවසේ මේ වන විට ඔහු නොමැති බව පොලිසිය ප්‍රකාශ කරයි. එමෙන්ම තුසිත හල්ලොලුව එන යන ස්ථාන කිහිපයකටද කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් ගොස් ඇතත් ඒ තැන්වලද ඔහු සොයා ගත නොහැකි බව වාර්තා කරයි.
කෙසේ වෙතත් අඳාළ වෙඩි තැබීමට සම්බන්ධ වෙඩික්කරු, යතුරුපැදිකරු, සහ ඔවුන් දෙදෙනාව මෙහෙයවන ලද සැකකරුවන් කිහිප දෙනෙක් දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි.
ඊට අමතරව තාක්ෂණික විමර්ශන ඇතුළු පරීක්ෂණවලින් අනාවරණය වූ තොරතුරු මත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගැනීමට විමර්ශන අංශ කටයුතු කරමින් සිටින බව සඳහන්.