ටයිටැනික් නටබුන් බලන්න ගිය හිතුවක්කාර ගමනේ ඇත්ත නැත්ත. (VIDEOS)
⚓️ ටයිටැනික් නටබුන් නැරඹීමේ චාරිකාවක් අතරතුර අතුරුදන් වූ සබ්මැරීන වර්ගයේ කුඩා යාත්‍රාව සොයා මෙහෙයුම් සිදු කරන කැනඩාවට අයත් සමුද්‍ර නිරීක්ෂණ ගුවන් යානයකට සෑම මිනිත්තු 30කට වරක් එම මුහුදු සීමාව තුළ පිපිරුම් ශබ්දයක් අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
⚓️ ගැඹුරු මුහුදේ සබ්මැරීන හඳුනාගත හැකි එම ගුවන් යානයෙන් ලැබුණු වාර්තාවට අනුව ශබ්ද ස්පන්දන මගින් මුහුදු පතුලේ වස්තූන් හඳුනා ගැනීමට භාවිත කරන සෝනර් පද්ධති වැඩි වශයෙන් එම මුහුදු සීමාවට යෙදවීමට අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ. එම යාත්‍රාවේ සිරවී සිටින මගීන්ට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය අද පස්වරුව වන විට අවසන් වනු ඇතැයි අනුමාන කර ඇති බැවින් මෙහෙයුම් කඩිනම් කිරීමටද පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
⚓️ මෙහෙයුම් කටයුතු සඳහා ජාත්‍යන්තර රටවල සහයෝගය ලැබි තිබුණද, ඉතා විස්මිත ලෙස එම මෙහෙයුම් සංකීර්ණ මුහුණුවරක් ගෙන ඇතැයි අමෙරිකානු වෙරළාරක්ෂක බළකායේ ප්‍රධානි රියර් අද්මිරාල් ජෝන් මව්ගර් ප්‍රකාශ කර තිබෙනවා.
⚓️ ගැඹුරු මුහුදෙන් වරින් වර ශබ්දයක් පිටවන බව නිරික්ෂණය වුවද ටයිටැනික් නටබුන් අතර ලෝහ කැබැලි විශාල ප්‍රමාණයක් ඇති බැවින් එය අතුරුදන් වූ යාත්‍රාවෙන් පිටවන ශබ්දයක් බව තහවුරු කරගැනීමට නොහැකි බවත් ඔහු සඳහන් කර තිබෙනවා..
⚓️ කෙසේ වුවද යාත්‍රාවේ ඔක්සිජන් ප්‍රමාණය අවසන් වීමට පෙර එය සොයා ගැනීමටත්, එහි සිරවී සිටින පුද්ගලයන් බේරා ගැනීමටත් හැකි සෑම පියවරක්ම ගන්නා බව රියර් අද්මිරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
⚓️ එම යාත්‍රාව අයත් ඕෂන්ගේට් සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක සහ ටයිටැනික් ගවේෂකයකු විසින් කෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනකු සහ එක් ව්‍යාපාරිකයකුගේ පුත්‍රයකු කැටුව සමඟ පසුගිය ඉරිදා ටයිටැනික් නටබුන් නැරඹීමේ චාරිකාවකට එක්වීමෙන් පැය දෙකකට ආසන්න කාලයකදී එය අතුරුදන් වී තිබෙනවා.
⚓️ ටයිටන් සබ්මර්සිබල් යාත්‍රාව අතුරුදන්වීමෙන් පසු ඒ පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී ඇති අතර, ලොව පුරා විවිධ රටවල මාධ්‍ය රැසක එම තොරතුරුවලට ප්‍රමුඛත්වයක් ලැබී තිබෙනවා.
සබ්මැරීනය හා සබ්මර්සිබලය අතර වෙනස
⚓️ සබ්මැරින හා සබ්මර්සිබල අතර ඇත්තේ ලොකු වෙනසකි. සබ්මැරීනයකට ගොඩබිම සිට එක එල්ලයේම ගැඹුරු මුහුදට අධික වේගයෙන් ධාවනය කළ හැකි අතර, අධිබලැති යාත්‍රා විශේෂයකි.
⚓️ එහෙත් සබ්මර්සිබලයක් යනු ආධාරක යාත්‍රාවකින් ගැඹුරු මුහුදට ගෙන ගොස් තල්ලු කළ යුතු ආකාරයේ මන්දගාමී ඉතා කුඩා යාත්‍රා විශේෂයකි. එය නැවත ගොඩබිමට රැගෙන ඒම සිදුවන්නේද ආධාරක යාත්‍රාවකිනි. පසුගියදා අතුරුදන් වූ ටයිටන් සබ්මර්සිබලයේ ආධාරක යාත්‍රාව ලෙස කටයුතු කරනු ලැබුවේ කැනඩාවේ වෙරළාරක්ෂක බළකාය සතුව තිබු පෝලර් ප්‍රින්ස් නමැති යාත්‍රාවකි.
මුලින්ම අත්හදා බැලුවේ 2018දි
⚓️ ටයිටන් සබ්මර්සිබලය පළමු අත්හදා බැලීම සිදු කර ඇත්තේ 2018 වසරේ ජූනි මාසයේදීය.
⚓️ අමෙරිකාව කේන්ද්‍ර කරගත් ඕෂන්ගේට් සමාගම වෙනුවෙන් එහි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක ස්ටොක්ටන් රෂ් නිර්මාණය කළ මේ යාත්‍රාව බහමාස් දුපත අවට මුහුදේ මීටර් 4000ක් ගැඹුරට යාත්‍රා කර ඇති අතර, සාර්ථක අත්හදා බැලීමෙන් පසු ස්ටොක්ටන් ප්‍රකාශ කර ඇත්තේ ඉදිරියේදී මගීන් පස්දෙනකුට ගමන් කළ හැකි මේ යාත්‍රාව උතුරු අත්ලාන්තික් සාගරයේ ටයිටැනික් නටබුන් නැරැඹීමේ පළමු චාරිකාවට එක්වන බවයි.
⚓️ ගැඹුරු මුහුදු පතුලට යාත්‍රා කිරීමට අවශ්‍ය ආකාරයට කුණාටුවලින් තොර දේශගුණික රටාවක් එම කාලසීමාවේදී පවතින බැවින් ජූනි මාසය එම චාරිකාවට වඩාත් සුදුසු කාලසීමාව බවට ද තීරණය වී තිබෙනවා.
වසර පහකට පෙර පළමු අනතුරු ඇඟවීම.
⚓️ ටයිටැනික් නටබුන් නැරඹීමේ චාරිකාවට වසර පහකට පෙර එනම් එය පළමුවරට අත්හදා බැලීම් සිදු කළ 2018 වසරේදිම අමෙරිකාවේ සමුද්‍ර තාක්ෂණ සංගමය ඕෂන්ගේට් සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක ස්ටොක්ටන්ට අනතුරු ඇඟවීමේ ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වෙනවා.
⚓️ එහි සඳහන් කර ඇත්තේ එම සම්බර්සිබලය මගින් සිදු කිරිමට නියමිත මේ ගවේෂණාත්මක චාරිකාව සෘණාත්මක ප්‍රතිඵලයට හේතු විය හැකි බවයි.
⚓️ එමෙන්ම එය ඉදිරියේදී විනාශකාරී සිදුවීමකටත් තුඩුදිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. යාත්‍රාවේ අනාරක්ෂිත බව හෙළි කළ සමාගමේ අධ්‍යක්ෂවරයකු දොට්ට දමයි.
⚓️ වසර 2018 දී ටයිටන් සබ්මර්සිබලය අත්හදා බැලීමෙන් පසු එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධව අදහස් පළ කළ ඕෂන්ගේට් සමාගමේ සමුද්‍ර මෙහෙයුම් අධ්‍යක්ෂවරයකු එම සමාගමේ පාලනාධිකාරිය ඔහු සේවයෙන් ඉවත් කර තිබෙනවා.
⚓️ ගැඹුරු මුහුදේ ආරක්ෂිතව ක්‍රියා කිරිමට ඇති හැකියාව පිළිබඳ කනස්සල්ල පළ කිරීම හේතුවෙන් තමා සේවයෙන් ඉවත් කළ බවට ඔහු නඩුවක් ද ගොනු කර ඇත.
⚓️ ටයිටන් සබ්මර්සිබලයට මුහුදු පතුලේ සාර්ථක ගමනක නිරත විමේ හැකියාව ඇත්තේ මීටර් 400ක් වැනි දුර ප්‍රමාණයකට පමණක් බවත්, ටයිටැනික් නටබුන් තැන්පත්වී ඇති මීටර් 1300ක් දුරකට යෑම අනතුරුදායක බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
⚓️ ආයතනික රහස්‍ය තොරතුරු හෙළි කිරීම නිසා ඕෂන්ගේට් සමාගම ද ඔහුට එරෙහිව වෙනම නඩුවක් පවරා තිබූ බව ද වාර්තා විය. අමෙරිකාවේ මගී යාත්‍රා ආරක්ෂණ පනතත් උල්ලංඝනය කරලා.
⚓️ මතභේදයට තුඩු දෙන ආකාරයේ ගැඹුරු මුහුදු පතුළ ගවේෂණය කිරීමට නිර්මාණය කළ මේ යාත්‍රාව 1993 අමෙරිකානු මගී යාත්‍රා ආරක්ෂණ පනත උල්ලංඝනය කරමින් නිර්මාණය කර ඇති බව 2018 වසරේ අගභාගයේදී අමෙරිකානු සඟරාවක වාර්තා කර තිබෙනවා.
⚓️ එම ලිපියෙන් යාත්‍රාවේ නිර්මාතෘ ස්ටොක්ටන් රෂ් හඳුන්වා දී ඇත්තේ ‘වගකීම් විරහිත නිමැවුම්කරුවකු ලෙසටයි.
අවදානම් සහිත චාරිකාවක්.
⚓️ පුද්ගලයන් පස්දෙනකු සමඟ උතුරු අත්ලාන්තික් සාගරයේ අතුරුදන් වූ ටයිටන් සබ්මර්සලය පිළිබඳ විවිධ පුවත්වලින් ජාත්‍යන්තර මාධ්‍ය පිරී ඉතිරි ගොසිනි. ඒ අතුරින් වැඩි අවධානයක් යොමු වී ඇත්තේ එම චාරිකාව ඉතා අනතුරුදායක බවට මීට පෙර චාරිකාවට එක් වූ පුද්ගලයන් විසින් ප්‍රකාශ කර තිබීමයි.
⚓️ මීට වසර දෙකකට පෙර පළමුවරට ටයිටැනික් නටබුන් නැරඹීමේ නිරික්ෂණ චාරිකාවකට එක් වූ අමෙරිකාවේ සීබීඑස් රූපවාහිනි නාලිකාවේ වාර්තාකරු ඩේවිඩ් පෝග්ට අනුව එය ඉතා අවදානම් සහිත ගමනකි. නිරීක්ෂණ චාරිකාවෙන් පසු ඔහු මෙසේ ප්‍රකාශ කර තිබුණා.
⚓️" ඒක හරියට ආසන නැති කුඩා වෑන් රථයක ගමන් කරනවා වගෙයි. පරිඝනක තිර කිහිපයක් ඇතුළේ තියෙනවා. පස්දෙනකුට විතරයි යන්න පුළුවන්. මේ යාත්‍රාවේ සැලසුම්කරු ඕෂන්ගේට් සමාගමේ ප්‍රධාන විධායක ස්ටොක්ටන් රෂ් හැම චාරිකාවකටම එක්වෙනවා. ඔහු තමයි ඇතුළේ ඉඳගෙන වීඩියෝ ගේම් වගේ ක්‍රීඩා පාලක උපකරණයකින් මේ යාත්‍රාව පාලනය කරන්නේ. ඊට අමතරව වැඩි හොඳට මුහුදු ගමන් හා කිමිදුම් සම්බන්ධ ප්‍රවීණයකු සිටිනවා. තව මගීන් තුන්දෙනකුට ගමන් කරන්න පුළුවන් ඉඩ තියෙනවා. හොඳ සොයා ගැනීමක් වුණාට අවදානම වැඩියි."
⚓️ " චාරිකාව ආරම්භ කිරීමට පෙර අප විසින් අත්සන් තැබිය යුතු ලියවිල්ලක් තියෙනවා. ඒ ලියවිල්ලට අනුව මේ ගවේෂණාත්මක චාරිකාවට එක් වන යාත්‍රාවට කිසිම නියාමන අධිකාරියකින් සහතිකයක් හෝ අනුමත කිරීමක් ලැබී නැති බවයි." බේරීමට විකල්පයක් නෑ
⚓️ ටයිටන් සබ්මර්සිබලය යම්කිසි ආකාරයේ අනතුරකට ලක්වූයේ නම් නැවත මුහුද මතුපිටට යාත්‍රා කිරීමට අවශ්‍ය ආකාරයේ විකල්ප අඩුම වශයෙන් 7ක් වත් ඇතැයි එහි නිරීක්ෂණ චාරිකාවට එක් වූ ඩේවිඩ් පොග් බීබීසී පුවත් සේවයට ප්‍රකාශ කර තිබෙනවා.
⚓️ එහෙත් සාගර පතුලේ කිසියම් ස්ථානයක සිරවීමක් හෝ යම්කිසි ජල කාන්දුවක් සිදු වූයේ නම් ඉන් ගැලවීමට කිසිදු සැලසුමක් ටයිටන් සබ්මර්සිබලයට නැති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා.
- උපුටා ගැනීම දිනමිණ - විදෙස් මාධ්‍ය -